පොදු ප්‍රවාහන සේවා ආරම්භය තවදුරටත් කල්දමන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

0
Dr. Hemantha Herath Statement of Public Transport Services - පොදු ප්‍රවාහන සේවා ආරම්භය තවදුරටත් කල්දමන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්
පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම කොවිඩ් -19 රෝගය පාලනය කරන තෙක් තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවය.

ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම පිළිබඳව කණගාටුව පළකරන බව ද ඒ මහතා අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.

“පොදු ප්‍රවාහන මාධ්‍යවල සෙනග පොදි ගැසෙමින් එන්නේ නැතුව දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝගය පැතිරීමට තියෙන වාතාවරණයකින් තොරව මේ ප්‍රවාහන මාධ්‍ය පවත්වාගෙන යාම තමයි අපි කළ යුත්තේ. අපි හොඳටම දන්නවා මැදිහත්වීමකින් තොරව දුම්රිය හෝ බස්රථ ආරම්භකරලා සාමාන්‍යයෙන් නිදහසේ මහජනතාවට නිදහසේ ඒවා භාවිත කිරීමට අවස්ථාව ලබාදුන්නහොත්, අකමැත්තෙන් වුණත් කියන්න තියෙන්නේ ඒ තත්ත්වය රෝගය පැතිරීමට තුඩුදෙනවාමයි. හැකියාවක් තියෙනවානම් මේ ප්‍රවාහන සේවය ආරම්භ කළයුත්තේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ නැතුව. එසේ නොමැතිව යම් ආකාරයකට මෙවැනි ප්‍රවාහන ක්‍රමවේද ආරම්භ කරනවාට වඩා මේ මොතේ පවතින තත්ත්වය පවත්වාගෙන යාම වඩා උචිතයි.”

මේ අතර පළාත් සංචරණ සීමා දැඩි කිරීමත් සමග ගතවූ දිනයේ බස්නාහිර පළාත තුළ ස්ථාපිත මාර්ග බාධක 13 කදී පුද්ගලයින් 3000 කට අධික පිරිසක් පරීක්ෂාවට ලක්කළ බව පොලීසිය පවසයි.

එහිදී රථ වාහන 1,907 ක්ද පරීක්ෂා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේය.

ඒ අනුව නිසි අවසර පත්‍රයක් නොමැතිව පළාත් අතර ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 415 දෙනෙකු සහ රථවාහන 208ක් යළි හරවා යැවීමට පියවර ගෙන තිබේ.

ලබන 21 දින දක්වා පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලැබී ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළද එම පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.