රතන හිමි අපේ ජනබල පක්ෂයෙන් ඉවත් කරයි

0
Rathana Thero Removed by Ape Jana Bala Pakshaya - රතන හිමි අපේ ජනබල පක්ෂයෙන් ඉවත් කරයි

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය.

පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කර ඇති බවද ජාතික සංවිධායකවරයා පැවසීය.

මෙම තීරණය ඇතුළත් ලිපිය එම පක්ෂය විසින් ඊයේ (15 ) මැතිවරණ කොමිෂන් සභාවට භාර දී ඇත.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපේ ජනබල පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ පක්ෂයෙන් අතුරලියේ රතන හිමියන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි.