මුදල් අච්චු ගැසීම සහ භාණ්ඩ මිල ඉහළයෑම අතර සම්බන්ධයක් නෑ

0
Ajith Nivard Cabral Statement of Goods Prices - මුදල් අච්චු ගැසීම සහ භාණ්ඩ මිල ඉහළයෑම අතර සම්බන්ධයක් නෑ

මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළගොස් ඇත්තේ මුදල් අච්චු ගැසීම නිසා නොවන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම භාණ්ඩවල මිල ඉහළයෑමට බලපා ඇත්තේ රුපියලේ අගය සහ පිටරටවල භාණ්ඩ මිලෙහි සිදුවූ වෙනස්කම් බවය.

අද (14) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව පැවසීය.

“ඔබ මහ බැංකුවේ වෙබ් අඩවියට ගියොත් තොරතුරු දැනගන්න පුළුවන්, කොතරම් ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා තියෙනවාද කියලා. මොකද අපිට ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යනවා දකින්න. අපි ඒක ගැන අවධානයෙන් කළමනාකරණය කරමින් ඉන්නේ. තෙල්, ගෑස් මිල වැඩිවුණේ මුදල් අච්චු ගහලා නෙමෙයි. වැඩිවෙන්න හේතුව සැපයුම් බලපෑම්. රුපියලේ අගය සහ පිටරටවල වෙනස්කම්.”

මේ අතර කොවිඩ් හේතුවෙන් අසාදු (ක්‍රිබ්) ලේඛනයට ඇතුළත් වී ඇති ව්‍යාපාරිකයන්ට සහන ලබාදීම සඳහා මහ බැංකුව විසින් අදාළ බැංකු සහ මූල්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බවත් ඉදිරියේදී ද ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වෙන බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මෙම වසරේ ශ්‍රී ලංකාව සියයට පහක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.