කඩ වූ විශ්වාසය දිනාගන්නා හැටි විමල් කියයි

0
Wimal Weerawansha Statement of Government - කඩ වූ විශ්වාසය දිනාගන්නා හැටි විමල් කියයි

රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ඉදිරියට ගියොත්, දැනට කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුනේදී යළි ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

එහිදී රජය අවංකව හා මිනිසුන් සිතන විදිය ගැන තේරුම් ගෙන මහජනයාගේ අපේක්‍ෂාවන්ට මුල් තැන දී කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ නොවුණොත් කොතරම් අතීතය අධ්‍යයනය කර නිවැරදි කියවාගැනීමක් කළත් අරමුණු ජයගැනීමට නොලැබෙන බව ද ඇමතිවරයා කීවේය.

ඇමති විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ කටුබැද්ද, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී අද (11) පැවති වැඩසටහනකට එක්වෙමිනි.

මෙය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදුකරමින් සිටින අවස්ථාවක් බව කී ඇමතිවරයා රජයෙන් වූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතු දේ හරියට තේරුම් ගෙන තක්සේරු කර ඉදිරියට ගියහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීමට හැකිවනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

පොදු ජනතාවගේ අපේක්‍ෂාව වූයේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් හෝ වෙනත් ඕනෑම ජාතික උවමනාවක් වෙනුවෙන් ගත යුතු තීරණ ගැනීම කර අරින්නේ නැති පාලන තන්ත්‍රයක් බව කී ඇමතිවරයා පොදුජනයාගේ එම අපෙක්‍ෂා සමඟ සෙල්ලම් කරන්නට හෝ විශ්වාසයට පිටුපාන්නට රජයට අයිතියක් නැතැයි ද පැවසීය.

වසංගතයක් සමඟ ජීවත්වීමට සිදුවූ නිසා රජය විසින් කළ යුතුව තිබූ සමහර දේවල් මගහැරී ඇති අතර විශේෂ අවධානය යොමුකළ යුතුව තිබූ දේවල් නොවී ඇතැයි කී ඇමතිවරයා ඒවා වෙනස් කරගන්නට තාමත් කල් තිබෙන බව ද සඳහන් කළේය.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)