මගේ ගෙදර යතුර මාරු කරලා, ඒ අයගේ ගෙදර කියනවා.. මතක තියා ගන්න ඔප්පුව මගේ අතේ…

0
Diana Gamage Statement of Samagi Jana Balawegaya - මගේ ගෙදර යතුර මාරු කරලා, ඒ අයගේ ගෙදර කියනවා.. මතක තියා ගන්න ඔප්පුව මගේ අතේ...

පක්ෂයෙන් නෙරපා දැමු බව පක්ෂ මහලේකම්වරයා විසින් තමාව දැනුවත් නොකිරීම ලැජ්ජාවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසන්නීය.

ඇය මේ බව සඳහන් කර සිටියේ, ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට ගෙන ඇති තීරණය පිළිබඳ අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඩයනා ගමගේ මහත්මිය,

“කී දෙනෙක් දන්නවා ද මේ ගැන. මම අද උදේ කතා කරලා අහද්දි කෘතියාධිකාරී මණ්ඩලයේ ඉන්න සමහර අය දන්නේ නෑ. නමුත් කෘතියාධිකාරී මණ්ඩලයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා කියලා කියනවා මාව නෙරපන්න මේ පක්ෂයෙන්. ඇත්තටම ලැජ්ජයි. බබාලා වගේ හැසිරෙන්නේ. මගේ මහත්තයාගෙත් මගෙත් මේ පක්ෂය ගැන උදාහරණයක් හැටියට කිව්වොත්, මහ වැස්සක් අතරතුර නන්නත්තාර වෙලා හිටිය කොටසකට මගේ ගෙදර මම ඉඩදෙනවා ඇවිත් ඉන්න ඒ වැස්සට. එහෙම කොටසක් මං එළියට ගිය වෙලාවේ මගේ ගෙදර යතුර මාරු කරලා ඒ ගොල්ලන්ගේ ගෙදර කියනවා දැන්. හැබැයි මං කියන්න කැමතියි මහලේකම්තුමා ඇතුළු සජබ සියලුදෙනාට මතක තියා ගන්න ඔප්පු තියෙන්නේ මගේ අතේ. අන්න ඒක හොඳට මතක තියා ගන්න. මේ කරන විහිලු නතර කරන්න. ඔබතුමාගේ සජබ පක්ෂය ඇතුළත ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. මේවා කෑලි කැඩිලා අද වෙනකොට.”

ඩයනා ගමගේ මහත්මිය පසුගිය මහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රිවරියක ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

ඇය පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වූයේ ආණ්ඩුව ගෙන ආ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කිරීමත් සමඟිනි.

එවන් පසුබිමකදී පෙරේදා (07) පැවැති සමඟි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඩයනා ගමගේ මහත්මිය පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.