ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියයේම අයිතිය ඉන්දියාවට

0
Udaya Gammanpila Statement of Trincomalee Fuel Tanks - ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියයේම අයිතිය ඉන්දියාවට

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සියයේම අයිතිය මේ වන විටත් ඇත්තේ ඉන්දියාව සතුව බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

එම තෙල් ටැංකි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු විසින් 1987 සහ 2003 වසරවල අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් මගින් සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදී ඇති බව කී ඇමතිවරයා ඒවා යලි ලබාගැනීමට තමන් උත්සාහ කරමින් සිටින බව ද කීවේය.

එසේ තිබියදී තමන් ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හෙලිකොප්ටරයෙන් ත්‍රිකුණාමලයට ගොස් තෙල් ටැංකි ලබාදීමේ ගිවිසුමකට අත්සන් කළ බවට නැගෙන චෝදනා හාස්‍යජනක බව කී ඇමතිවරයා තමන් ඇමතිධූරයට පත්වූ පසු කිසිවකු සමඟ හෙලිකොප්ටර් සවාරිවල නිරතවී නැතැයි ද සඳහන් කළේය.

ඇමති ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි භාරදීමේ ගිවිසුමකට අත්සන් කිරීමට නම් ඒ අසලටම යා යුතු නැති බවත්, ලෝකයේ කොයි මුල්ලක සිට අත්සන් කළත් ගිවිසුම් වලංගු වන බවත් උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම තෙල් ටැංකි 2023 වසරේ නැවත මෙරටට ලැබෙන බව ඇතැමුන් කීවත් ඉන්දු ලංකා ගිවිසුම්වල එවන් කිසිඳු වගන්තියක් නැතැයි ද ඇමතිවරයා පැවසීය.