හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නෑ

0
Sajith Preamadasa Statement of Politicas - හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නෑ

සාධනීය විවේචන සාදරයෙන් භාර ගත්තත් හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නැතැයි සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

සමගි ජන බලවේගය “දේශපාලනය” වෙනුවට “දේශ සේවය” කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් බවත් ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන ඔවුන්ගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවීම එහි දර්ශනය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂයේ භූමිකාව නවීන ලෙසත් ජනතාවාදී ලෙසත් ඉටුකරන හේතුවෙන් ඇතැම් පාර්ශව බියට පත්වී ඇති නමුත් ඒ කිසිවක් තම ගමනට බාධාවක් නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීමේ වැඩසටහනට විපක්ෂ නායක කාර්යාල දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“අපි යන දිසාව මොකක්ද කියලා කවුරුහරි ප්‍රශ්න කරනවා නම් අපි යන දිශාවක එක සලකුණක් කියලා විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන අපි ඒ අයට පෙන්නනවා. අපේ ගමනේ අර්ථය දේශයට සේවයක් සිද්ධ කිරීමයි. ඒ අරමුනින් තමයි අපි මේ සියලු දේ සිදුකරන්නේ.

අපේ දර්ශනය කට වචනයෙන්වත් ,ප්‍රතිඥා වලින්වත් ,ප්‍රතිපත්ති ප්‍රකාශන වලින්වත් සීමා නොවී ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. හදවත පිරිසිදු නම්, ගමන නිවැරදි නම් එයින් රටට ජනතාවට වැඩක් කෙරෙනවා නම්, අන්න එතැනදී ජනතාවගේ අපේක්ෂාවන් සපල වෙනවා.

අර්ථයක් ඇති ,ජනතාව වෙනුවෙන් අපේ ගමනට ප්‍රයෝජනවත්වන ඕනෑම විවේචනයක් දරා ගන්නටත් ඒවාට ඇහුම්කන් දෙන්නටත අපි කිසි විටෙකත් පසුබට වන්නේ නැහැ. හිස් අවලාද ලෙස නගන අර්ථ විරහිත විවේචන පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් අපි ගණන් ගන්නේ නැහැ.” යැයිද ඔහු එහිදී පැවසීය.