දරුවෙකුගේ ක්‍රියාවට උරණ වී අම්මාව මරා දමයි

0
Women Murder in Polpithigama - දරුවෙකුගේ ක්‍රියාවට උරණ වී අම්මාව මරා දමයි

මන්දමානසික දරුවෙකුගේ ක්‍රියාකාරකම් නිසා සිත් තැවුලට පත්ව සිටි අසල්වැසියකු එම දරුවාගේ මව ඊයේ (28දා) පෙරවරුවේදී පාරේ ගමන් කරමින් සිටියදී පොල්ලකින් පහරදී තුවාල සිදු කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

පසුව ඇය රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අතරවාරයේදී මරණයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පොල්පිතිගම, උල්පත පල්ලේකැලේ පදිංචිව සිටි අවුරුදු 62ක විවාහක දෙදරු මවක්.

මියගිය තැනැත්තියගේ අවුරුදු 25ක් පමණ වයසැති වැඩිමල් පුත්‍රයා උපතේ සිටම මන්ද මානසික රෝගීතාවකින් පෙළෙන අයෙක්.

ඔහු යාබද නිවෙසකට ගල් ගසන බවත් එය නතර කරවන ලෙසට කොතෙක් ඉල්ලීම් කළත් එය නොනවත්වන නිසා අසල්වැසි නිවැසියන් කලක සිට ඔවුන් සමඟ අමනාපයෙන් පසුවන බව ඒ සම්බන්ධව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම දරුවාගේ මව මෙම අමනාපයෙන් පසුවෙන අසල්වැසියාගේ නිවෙස ඉදිරිපිටින් ඊයේ (28දා) පෙරවරු හතට පමණ ඔවුන්ගේ ඥාති නිවෙසකට ගමන් කරමින් සිටියදී අසල්වැසි මෙම තැනැත්තා නිවෙසේ සිට පාරට විත් පොල්ලකින් පහරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව ප්‍රදේශවාසීන් ඇයව ඒ මොහොතේදීම පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඇය ඒ වන විටත් මියගොස් තිබුණු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පහර දුන් බවට සැකකරන පුද්ගලයා අවුරුදු 59ක් වයසැති විවාහක සිවුදරු පියෙක්.

මොහු මේ වනවිට අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වන්නේ.