දේපළ තණ්හාවට සිදුකළ අමානුෂික ඝාතනයේ සුල මුල හෙළිවෙයි

0
Engineer Murder Incident Before Three Years - දේපළ තණ්හාවට සිදුකළ අමානුෂික ඝාතනයේ සුල මුල හෙළිවෙයි
රුපියල් කෝටි පනහකට අධික දේපළ ලබාගැනීම සඳහා ඉංජිනේරුවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක සුලමුල අනාවරණ කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී තිබේ.

වසර තුනකට පෙර එසේ ඝාතනය කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විසිපහක් පමණ වරලත් ඉංජිනේරුවෙකු ලෙස මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු ලෙස ද කටයුතු කළ පුද්ගලයෙකි.

වීරබද්ධරාලලාගේ සමන් විජේසිරි නමැති 63 හැවිරිදි එම ඉංජිනේරුවරයා, හලාවත කාකපල්ලිය ඉදිගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

සමන් විජේසිරි මහතා එක්වරම අතුරුදන්ව ඇති බවට වාර්තා වී තිබුණේ මීට වසර 3කට පෙර එනම් 2018 දීය.

ඒ පිළිබඳ පළමු පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ හලාවත පොලීසියටය.

පසුව සමන් විජේසිරි මහතාගේ ඥාතියෙකු පරීක්ෂණ නිසිලෙස සිදුනොවන බවට පොලිස් කොමිසමට පැමිණිලිකර තිබුණි.

ඒ අනුව, 2020 වසරේදී මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බව වාර්තා විය.

ඒ අනුව එහි විමර්ශනය භාරදී ඇත්තේ මෑතකදී ආරම්භ කෙරුණු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙතට ය.

මෙම ඉංජිනේරුවරයා ඝාතනයකර ඇති බව එම ඒකකයේ විමර්ශන මගින් මුල්වරට අනාවරණ කර ගැනීමට සමත්වී තිබුණි.

එම ඉංජිනේරුවරයාව ඝාතනය කර කලපුවක සඟවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයකින් පසුව අත්අඩංගුවටගත් තිදෙනෙකු පසුගිය සතියේ කළ පාපොච්චාරණයක් කර තිබේ.

අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වන පේරාචි ලින්කන් නමැත්තා ඉතාලියේ සිට පැමිණ ව්‍යාපාරිකයෙකු ලෙස මෙරට කටයුතු කරන අයෙකි.

දෙවැනි සැකකරු වන රුවන් චන්දන ද ව්‍යාපාරිකයෙකි.

නිහාල් දේවප්‍රිය නමැති තුන්වැනි සැකකරු මියගිය අයගේ ඥාතියෙක් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම සැකකරුවන් 2018 ඔක්තෝබර් 12වැනිදා සමන් විජේසිරි නමැති ඉංජිනේරුවරයා ව පැහැරගෙන ගොස් ඝාතනය කර හලාවත කලපුවේ සඟවා ඇති බව අනාවරණ වී තිබේ.

සමන් විජේසිරි මහතා ජපන් කාන්තාවක සමග විවාහ වී පසුව දික්කසාද වී සිටි අයෙකි.

දේපළ පැවරීමට දරුවන් නොමැති හේතුවෙන් දරුකමට හදාගත් අයෙකුට දේපළ ලියාදීමට සූදානම්වීමත් සමග මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

සමන් විජේසිරිගේ ඝාතනයෙන් පසු සැකකරුවන් නීතිඥවරයෙකුගේ සහායෙන් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් ප්‍රධාන සැකකරුගේ නමට දේපළ ලියාගෙන ඇති බවද අනාවරණය විය.

එම ව්‍යාජ ඇටෝනි බලපත්‍රය මගින් සියලු දේපළ විකිණීමට ප්‍රධාන සැකකරුට බලය පවරාගෙන තිබූ බව පරීක්ෂණ මගින් අනාවරණය විය.

ඝාතනයට ලක්වූ අය විදෙස් ගතවූ බව හැඟවීමට 2019 මැයි 28වැනිදා UL 225 යානයෙන් ඔහු විදෙස්ගතව ඇති බවට කටුනායක ගුවන්තොටුපොළේ දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත්කර ඇති බව අනාවරණ වී තිබුණි.

ආගමන විගමන නිලධාරියෙකුට රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් ලබාදෙමින් එසේ දත්ත ඇතුළත් කර ඇති බව සොයා ගැනුණි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන නිලධාරීයා, නීතිඥයා ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර කලපුවට දැමූ බව කියන දේහයේ කොටස් සෙවීමටද විමර්ශන ආරම්භකර ඇති බව වාර්තා විය.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)