සහල් නිෂ්පාදකයින්ගෙන් රතු එළි

0
Request of Rice Price - සහල් නිෂ්පාදකයින්ගෙන් රතු එළි
තමන් නිෂ්පාදනය කරන සහල් සඳහා රජයෙන් ඉල්ලා සිටින සහතික මිල ලබා නොදෙන්නේ නම් ලබන සතියේ සිට සහල් නිෂ්පාදනයෙන් ඉවත්වන බව ශ‍්‍රී ලංකා සහල් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික‍්‍රම මහතා පැවසීය.

නාඩු සහල් කිලෝවකට රුපියල් 110ක්ද, සම්බා සහල් කිලෝවකට රුපියල් 130ක් ද, කීරි සම්බා කිලෝවකට රුපියල් 160 ක්ද ලබා දෙන ලෙස මීට පෙර ජීවන වියදම් පිළිබඳ කමිටුවට තම සංගමය ලිඛිතව දන්වා සිටි බවත් එහෙත් ඔවුන් ඇහුම්කන් නොදුන් බවත් ඒ මහතා සඳහන් කළේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සහල් නිෂ්පාදකයන් ඉලක්ක කරගෙන නිකුත් කළ ගැසට් නිවේදනය නිසා ශ‍්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය කරන මෝල් 1000න් 750ක් පමණ මේ වනවිට වැසීගොස් තිබෙන බවද ජයවික‍්‍රම මහතා පැවසීය.

පොලොන්නරුව ගිරිතලේ ඊයේ (26වැනිදා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සුරාජ් ජයවික‍්‍රම මහතා මේ බව ප‍්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේද කීය.

ශ‍්‍රී ලංකාවේ වී නිෂ්පාදනය කරන පළාත්වල ගොවීන් සිය අස්වැන්නෙන් 55%ක් පමණ මෙවර අලෙවි නොකර සන්තකයේ තබාගෙන ඉන්නවා. ඔවුන් එහෙම කරන්නේ රජය ගොවියාට සහ කුඩා හා මධ්‍ය පරිමාණ වී සහ සහල් මෝල් හිමිකරුවන්ට පැනවූ ගැසට් නිවේදනය නිසා. හදිසි නීතිය යටතේ පාරිභෝගික සේවා අධිකාරිය ක‍්‍රියා කරන අත්තනෝමතික පිළිවෙතට තමයි මේ මිනිස්සු උත්තර දෙන්නෙ.

මේ වන විටත් සහල් පාරිභෝගිකයන්ට නියමිත පරිදි සහල් ලැබෙන්නෙ නෑ. ඉදිරියේදී රට තුළ උග‍්‍ර සහල් හිඟයක් ඇතිවන්න පුළුවන්. ඊට පෙර හැකි ඉක්මනින් අපට රජය සමග සාකච්ඡුාවක් ලබා දෙන්න. ඇතිවෙලා තියන ගැටලූව විසඳන ලෙස සංගමයක් ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ශ‍්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා,

රටේ වී සංචිත තිබියදී ආණ්ඩුවට එය කළමනාකරණය කරගත නොහැකි වී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ දිනකට සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 50 – 60ක් වෙනවා. මේ සහල් නිෂ්පාදනය කරන්න දිනකට වී කිලෝ කෝටියක් පමණ යෙදවිය යුතුයි. තවත් මාස පහකට වී තොග ලංකාවෙ තියනවා. ඒත් රජය සතුව ඇත්තේ තවත් සහල් තොග ලක්ෂ පනහක් පමණයි. එය දිනකටවත් ප‍්‍රමාණවත් නෑ. වී සහල් තොග පවතින්නේ පෞද්ගලික වෙළෙඳුන් සහ ගොවීන් ළඟයි.