කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකරන්න අනුමැතිය ලැබෙයි.. මිල වැඩිවන හැටි මෙන්න…

0
Accept for Increase Goods Prices - කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකරන්න අනුමැතිය ලැබෙයි.. මිල වැඩිවන හැටි මෙන්න...

කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව ඊයේ අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එය ක්‍රියාත්මක වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.

එමෙන්ම, සහල් මිල සහ ළඳරු කිරිපිටි මිල ඉහළ නොදැමීමට ජිවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

කමිටුව නිර්දේශ කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් ඉහළ දැමීමටයි.

ගෑස් මිල රුපියල් 550කින් වැඩි කළ යුතු බවට ජිවන වියදම් කමිටුවේදී නිර්දේශ වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මිල වැඩි වීම සිදුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ ලබන සඳුදා රැස්වන අමාත්‍ය මණ්ඩලය විසින්.

බදු සහන ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විමසා බලනු ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ජිවන වියදම් කමිටුව අද අනුමත කළ මිල ගණන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක නව මිල රුපියල් 1145ක් වනවා.

කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1050ක් පමණ වනු ඇති.

කෙසේ වෙතත්, රුපියල් 200ක මිල වැඩිවීමක් යටතේ වෙළඳපොලට කිරිපිටි සාමාන්‍ය සැපයුමක් සිදුකළ නොහැකි බව ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ රුපියල් අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය අනුව රුපියල් 350ක වත් මිල වැඩිවීමක් අවශ්‍ය බවයි.