කොරෝනා රෝගී වාට්ටු හිස් වෙයි

0
Covid Patients in Hospital - කොරෝනා රෝගී වාට්ටු හිස් වෙයි

මේ වන විට කොවිඩ් රෝගීන් සහ කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර රෝහල්වලට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ද කැපීපෙනෙන අඩුවීමක් පවතී.

කොවිඩ් ආසාදිත රෝගීන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලැබූ රෝහල් රැසකම මේ වන විට ප්‍රතිකාර ලබන්නේ පසුගිය කාලයේ ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාවට වඩා බොහෝ අඩු සංඛ්‍යාවක් බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

සංචරණ සීමා පැනවීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල හා ජනතාව ආරක්‍ෂාකාරී අයුරින් කටයුතු කිරීම ද මෙම රෝගීන් අඩුවීමට හේතු වූ බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත රෝගීන් 600ක් පමණ ප්‍රතිකාර ලැබූ බවත් මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 169ක් පමණ බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ මහතා පැවසීය.

එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 23ම මේ වන විටත් පිරී පවතින බව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කොවිඩ් රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කළ ප්‍රධානතම රෝහලක් වන අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ද මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ද අඩු වී ඇති බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.

අයි.ඩී.එච් රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ ඇඳන් 230ක සංඛ්‍යාවෙන් දැනට පිරී පවතින්නේ ඇඳන් 150 ක් පමණක් බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ එම ඇඳන් සංඛ්‍යාව ඉක්මවා රෝගීන් ඇතුළත් කෙරුණු අවස්ථා ද පැවති බව වෛද්‍යවරයා කීවේය.

කොවිඩ් ආසාදනය වී දින 14ක් ගතවූ පසුත් රෝග ලක්‍ෂණ පවතින රෝගීන් 30 දෙනකු ද ඒ අතර වන බව කී අධ්‍යක්‍ෂවරයා දැඩි සත්කාර ඇඳන් අටෙහිම මේ වන විටත් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බව කීවේය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් වෙන් කළ ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවී පසුගිය කාලයේ දැඩි ගැටලුකාරී තත්වයක් ද මතුව තිබූ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි ද මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්‍ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසුවේ එහි වාට්ටු හයක රෝගීන් 200ක් පමණ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

රට තුළ සංචරණ සීමා පැනවීමට පෙර කළුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන් 400ක් පමණ ප්‍රතිකාර ලැබූ බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් අතර ඔක්සිජන් ලබාදෙන රෝගීන් ද සිටින බව කී වෛද්‍ය බෙල්ලන මහතා එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල ද පිරී පවතින බව කීවේය.

පසුගිය කාලයේ රෝගීන් 100ත් 150ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබූ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ ශික්‍ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 58ක පමණ සංඛ්‍යාවක් බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසීය.

එහි ද දැඩි සත්කාර ඒකක ඇඳන් හතරෙහිම කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ කොවිඩ් රෝගීන් 500ක් පමණ ප්‍රතිකාර ලැබූ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි ද මේ වන විට ප්‍රතිකාර ලබන්නේ රෝගීණ් 175ක් පමණ බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතා පැවසීය.

එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කළ දැඩි සත්කාර ඇඳන් 10 හිම මේ වන විටත් රෝගීන් ප්‍රතිකාර ලබන බව අධ්‍යක්‍ෂවරයා කීවේය.

රාගම රෝහලේ ද කොවිඩ් රෝගී වාට්ටු පිරීයාම නිසා පසුගිය කාලයේ දැඩි ගැටලුකාරී තත්වයක් මතුව තිබිණි.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)