කොවිඩ් නිසා රාජකාරිය දේවකාරිය කරගත් තවත් සුව විරුවෙකු දැයෙන් සමුගනී

0
Kurunegala Hospital Death by Covid - කොවිඩ් නිසා රාජකාරිය දේවකාරිය කරගත් තවත් සුව විරුවෙකු දැයෙන් සමුගනී
කොවිඩ් නිසා තවත් වෛද්‍යවරයෙකු රටට අහිමි වෙයි.

වෛද්‍ය සුගත් බණ්ඩාර කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍යවරයෙකි.

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ ඒකකය තුළ සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කළ වෛද්‍ය සුගත්ට, කොවිඩ් ආසාදනය වී ඇතැයි හෙළිවුණේ මීට දින 10 කට කලින් ය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) උදෑසන ඔහු දිවි ගමන අවසන් කළේ ය.

රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් කැඳවුම්කරු, වෛද්‍ය ඉන්දික රත්නායක මහතා,

“පසුගිය කාලේ අපේ රෝහලේ සුවිශේෂි සේවාවක් කළා එතුමා කොවිඩ් සම්බන්ධ සැක කරන රෝගීන් ප්‍රථමයෙන් එන්නේ බාහිර රෝගී අංශයට. ඒ බාහිර රෝගී අංශයේ කොවිඩ් ඒකකයේ එතුමා සෑහෙන කාලයක් රාජකාරි කළා. කුරුණෑගල පළාත් මහ රෝහලේ අපි සිද්ධ කරපු එන්නත්කරන ක්‍රියාවලියේ මෙතුමා අපිට සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නා.”

දෙදරු පියෙකු වූ වෛද්‍ය සුගත් බණ්ඩාර මහතාගේ වයස අවුරුදු 57කි.

වෛද්‍යවරයෙකු ලෙස ජනයා සුවපත් කළ මේ වෛද්‍යවරයා කලාවට ද දැක්වූයේ දැඩි ඇල්මකි.

චිත්‍ර ශිල්පියෙකු ලෙසත් ගත්කතුවරයෙකු ලෙසත් ඔහු සිය කලා කුසලතා ප්‍රකට කළේ ය.

දහස් ගණනකගේ සුව සහනය වෙනුවෙන්ම කැප වූ වෛද්‍ය සුගත් බණ්ඩාර මතකයක් පමණක්ම ඉතිරි කරමින් ඊයේ පස්වරුවේ කුරුණෑගල පොදු සුසාන භූමියෙන් සදහටම සමුගත්තේ ය.