ඇමතිවරු අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ගැන වැඩිදුර තොරතුරු

0
Details of Siripala and Roshan Argument - ඇමතිවරු අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ගැන වැඩිදුර තොරතුරු

රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් ඇතිවීම සම්බන්ධයෙන් අද (13) පුවත්පත් වැඩිදුර තොරතුරු වාර්තා කර තිබෙනවා.

අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා වී ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පොළොන්නරුවට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇති වුණා.

වී මොල් හිමියන් වී කිලෝව රුපියල් 60 ට මිලදී ගෙන සහල්වලින් අධික ලාභයක් ලබන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහිදී පැවැසූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඊට එරෙහිව අදහස් දැක්වීම නිසා මෙම වචන හුවමාරුව ඇති වූ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මැදිහත්ව එය සමථයකට පත්කළා.

එම අවස්ථාව පුවත්පත් වාර්තා කර තිබුණේ මෙලෙසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සොයා ලැබූ නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුව කදුරුවෙල ඉදිවන ත්‍රෛභාෂා සංහිඳියා පාසල නිරීක්ෂණය සඳහා පැමිණි අවස්තාවේ ගොවි නියෝජිත පිරිසක් ඇමැතිවරයා හමුවීමට පැමිණ සිටියහ.

වී කිලෝවක රජයේ සහතික මිල වැඩිකරන ලෙස ඉල්ලමින් ගොවි නියෝජිතයන් එහිදී ඇමැතිවරයාට ලිපියක් බාරදුන් අතර ඇමැතිවරයා එහිදී පැවසුවේ රජය වී කිලෝවක සහතික මිල රුපියල් 50 ක් දක්වා වැඩිකර ඇති බවයි.

එම මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී ගොවි නියෝජිතයෝ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 65 ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 75 ක මිලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහ.

සහල් මෝල් හිමියන් වී කිලෝව රුපියල් 60 බැගින් මිලදී ගනිමින් සිටියත් පසුගියදා රජය මගින් සහල් මෝල් වැටලීම නිසා ඔවුන් දැන් එම මිලට වී නොගන්නා බවද ගොවීහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා එම අවස්ථාවේ “තමුන්නාසේලාගේ ඉල්ලීම සාධාරණයි. ඔවුන් 60 ට ගත්තට 60 ට සරිලන ගාණකට නෙවෙයි ලොකු ලාබයක් තියාගෙනනේ හාල් දෙන්නේ” යැයි පැවසීය.

එම අවස්ථාවේ ඊට එරෙහිව අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා වැරදි අර්ථ නිරූපණ කරන්න එපා. හැටට අරගෙන තමයි එකසිය පහට දුන්නේ යැයි කීය.

ඒ අවස්ථාවේ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ අතර නාමල් රාජපක්ෂ ඇමැතිවරයා රොෂාන් රණසිංහ මහතාට සන්සුන්වන ලෙස උපදෙස්දී එය සමථයකට පත් කළේය.

ගොවි ජනතාවගේ මෙම ඉල්ලීම රජයට ඉදිරිපත්කර විසඳුමක් ලබාදෙන බව එහිදී ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ආණ්ඩුව ගොවීන්ට අසාධාරණයක් කරන්නේ නැතැයිද කීවේය.