ලැප්ටොප් සහ ජංගම දුරකථනවල හිඟයක්

0
Deficit of Laptops and Mobile Phones - ලැප්ටොප් සහ ජංගම දුරකථනවල හිඟයක්
රට තුළ ලැප්ටොප් සහ ස්මාර්ට් ජංගම දුරකථන දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

ලැප්ටොප් සහ ජංගම දුරකථන තොග පවතින අලෙවි නියෝජිතයන් ද ලැප්ටොප් සහ ජංගම දුරකථන මිල රුපියල් 20,000 සිට ලක්ෂය දක්වා වන මුදලකින් ඉහල දමා ඇතැයි ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

ලැප්ටොප් සහ ජංගම දුරකථන ඇතුළු සෙසු විදුලි උපකරණ අලෙවි කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයතන කිහිපයේ ද සියලුම විදුලි උපකරණවල මිල රුපියල් 20,000 සිට 120,000 දක්වා වන සේ මිල ඉහළ දමා ඇතැයි ද ගන්නට තිබේ.

අඟල් 32 එල්.ඊ.ඩී.රූපවාහිනියක මිල රුපියල් 35,000 ත් 50,000 අතර මුදලකින් ඉහල දමා ඇති බවත් වසරක පමණ කාලයක් තුළ මිල විශාල මුදලකින් ඉහළ ගිය බවත් විදුලි උපකරණ අලෙවි නියෝජිතයෝ පවසති.

ලැප්ටොප්, ජංගම දුරකථන සහ සෙසු විදුලි උපකරණ අලෙවි කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන කිහිපයේ මෙන්ම රටපුරා සෙසු ලැප්ටොප් සහ ජංගම දුරකථන ආනයනකරුවන් පවසන්නේ ආනයන සීමා කිරීම හේතුවෙන් ලැප්ටොප් සහ ජංගම දුරකථන ඇතුළු සෙසු විදුලි උපකරණ ආනයනය කිරීමට නොහැකියි තත්ත්වයත් උද්ගත වී ඇති බවයි.

රජය ආනයනික තැන්පතුව සියයට 100 ක් බවට පත්කිරීමත් සමග ආනයනකරුවන්ට මීට පෙර ලැප්ටොප් හෝ ජංගම දුරකථන වරකදී 1000 ක් ආනයනය කළේ නම් එය 200 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් දක්වා පහත දැමීමට සිදුවී ඇති බවත් ඉල්ලුම වැඩිවීමත් සමග මිල වැඩිවීම සාමාන්‍ය තත්වයක් බවත් ප්‍රධාන විදුලි උපකරණ ආනයනකරුවකු පැවසීය.

කොළඹ අවට සුළු පරිමාණ ලැප්ටොප් සහ දුරකථන ඇතුළු සෙසු උපකරණ අලෙවි නියෝජිතයන් කීපදෙනකු පැවසුවේ ආනයනකරුවන් සතුව තොග තිබුණද ඔවුන් තොග සඟවා සිටින බවත් වෙනත් භාණ්ඩ වල මිල පාලනය කිරීමට රජය මැදිහත් වූ සේම ලැප්ටොප් සහ දුරකථන ඇතුළු විදුලි උපකරණවල මිල පාලනයට ද රජය වහාම මැදිහත් යුතු බව එම අලෙවි නියෝජිතයෝ පවසති.