හැමෝම කැපකිරීම් කරන්න ඕනෑ.. තුන්වේලක් කාපු අයට දෙවේලක් කාලා ඉන්න වෙයි…

0
Jagath Kumara Press Conference - හැමෝම කැපකිරීම් කරන්න ඕනෑ.. තුන්වේලක් කාපු අයට දෙවේලක් කාලා ඉන්න වෙයි...
පවතින කොවිඩ් රැල්ල මර්දනය කරගන්නා තෙක් තව ටික දිනක් ජනතාවට කැපකිරීම් කිරීමට සිදුවන බවත් මෙතෙක් තුන්වේලක් ආහාර ගත් අයට දෙවේලක් ආහාර ගෙන ජීවත් වීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අවධාරණය කරයි.

“මං හිතනවා අද රටේ ගොඩාක් අය අපහසුතාවට පත්වෙලා ඇති. ඒ ගැන අපි කණගාටු වෙනවා. මොකද රුපියල් 2000 කින් කාටවත් ජීවත් වෙන්න බෑනෙ. ඉතිං ආණ්ඩුවට පුළුවන්කම තිබුණා නම් 2000 නෙවෙයි 20,000ක් දෙනවා හැබැයි දෙන්න පුළුවන්කමක් නෑ මේ වෙලාවෙ.

ඉතිං ඒ නිසා අපි කවුරුත් කැපකිරීම් කරන්න ඕනෙ. අපිත් අපේ මාසික පඩියත් දුන්නා කොවිඩ් අරමුදලට. ඒ දීලා අපිත් පරිත්‍යාග කළා. ඒවගේම මේ වෙලාවෙ හැමෝම තුන් වේලක් කෑවා නම් සමහරවිට දෙවේලක් කාලා ජීවත් වෙන්න වේවි, දවස් කීපයක් තව. එහෙම ජීවත් වෙන ගමන් අපි මේ රැල්ල මර්දනය කරගන්න කටයුතු කළොත් අද කරන කැපකිරීම, අද තුන්වේල නොකා එක වේලට දෙවේලට වැටෙන එක ඉදිරි කාලයේ ඔබේ දූදරුවන්ගෙ අනාගතය වෙනුවෙන් රට වෙනුවෙන් හේතු වේවි. අපට තව ඉදිරි පිම්මකට යන්න පුළුවන්කම ලැබැයි.

රටක ආදායම නැතිවුණාම ආණ්ඩුවකට කියලා කරන්න දෙයක් නැති තත්වයට පත්වෙනවා. ඉතිං ඒ නිසා අපි ජනතාවට කණගාටුව ප්‍රකාශ කරනවා පත්වෙලා තියෙන තත්වය පිළිබඳව. ජනතාව බලාපොරොත්තු වෙච්ච සියල්ල මේ අවස්ථාවේදී අපට කරන්න බැරිවෙලා තියෙනවා. හැබැයි අපි හිතනවා අපි හැමෝම එකතුවෙලා කරන මේ කැපකිරීම තුළ අපට පුළුවන් වෙයි ඉස්සරහට යන්න”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.