මහ බැංකු අධිපති ඉල්ලා අස් වෙයි.. කබ්රාල් ආයිත් එයි ද..?

0
Governor of Central Bank Resign - මහ බැංකු අධිපති ඉල්ලා අස් වෙයි.. කබ්රාල් ආයිත් එයි ද..?

තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා නිලවශයෙන් නිවේදනය කරනවා.

ඒ මහ බැංකුවේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ලබන 14 වනදා සිට තම ඉල්ලා අස්වීම බලාත්මක වන බවයි ඔහු සඳහන් කලේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වන අධිපතිවරයා වන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම තනතුරට පත් කෙරුණේ 2019 වසරේ දෙසැම්බර් 24 වනදායි.

මේ අතර මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට නැවත වරක් පත්වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග ගතවූ දින කිහිපය තුළදීම වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා විසින් එය තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මේ දක්වා සිදුකර නැහැ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ එය නිල වශයෙන් ස්ථිර වී නොමැති බැවින් කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි.

2006 වසරේ ජූලි මාසයේ සිට 2015 වසරේ ජනවාරි 09 දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර කටයුතු කරනු ලැබුවා.