අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයෙකු මරුට – සැඩපහරකට හසුව තරුණයෙකු අතුරුදන්

0
අයහපත් කාලගුණය - Bad weather

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනය පුරා ඇද හැලුනු අධික වැසිත් සමඟ කෑගල්ලේ තෝලන්ගමුව ගස්නාව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා දෙදෙනෙකු රෝහල් ගත කළ අතර, ඉන් එක් අයෙකු ඊයේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම උඩුගම – අලුත්වත්ත ප්‍රදේශයේ දී ගිං ගඟට සම්බන්ධ ඇළ මාර්ගයක පාළමක් මතින් ගමන් කරමින් සිටියදී සැඩ පහරකට හසුව 25 හැවිරිදි තරුණයෙකු ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

පැවති වර්ෂාවත් සමඟ උඩුගම, ගමගොඩ, කැටගොඩ, උක්ඕවිට ප්‍රදේශ ජලයෙන් යටව ඇති බව පොලිීසිය සඳහන් කළා.

මේ නිසා ප්‍රදේශවල පදිංචි ජනතාව තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.

දිවයිනට බටහිරෙන් පිහිටි ගිණිකොණදිග අරාබි මුහුදේ හටගෙන ඇති අඩු පීඩන කලාපය මේවනවිට පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දිශාවට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ එය ලබන 18 වනදා පස්වරුව වන විට ගුජරාටි සහ පාකිස්තාන වෙරළ තීරයට ඇතුලු වනු ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ අද දිනයේත් පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බවයි.

ගතවූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලෙන් වාර්තාවන අතර, එය සටහන් වූයේ මිලිමීටර 257 ක් ලෙසයි.

මේ අතර, පවතින අධික වැසි සහිත තත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ පස්වරුවේ දිස්ත්‍රික්ක 6 කට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කළා. ගාල්ල, කලුතර, මාතර, රත්නපුර, කෑගල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්ක වලටයි මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.