ඇමැතිගේ හාලුත් රාජසන්තක කරයි

0
Rice for Sathosa - ඇමැතිගේ හාලුත් රාජසන්තක කරයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායම සහල් මෙට්‍රික් ටොන් 1000ක තොගයක් රජයට පවරාගෙන සතොස වෙත භාරදී තිබේ.

ලබා ගන්නා සහල් ස​.තො.ස. වෙත රැගෙන ඒම සඳහා ස.තො.ස. ආයතනය සතු ලොරි 70ක්ද රැගෙන ගිය නමුත් ලොරි 39කට ප්‍රමාණවත් සහල් පමණක් ලැබුණු බව අනාවරණය වේ.

ඒ අනුව මහවැලි රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතාට අයත් නිපුන සහල් මෝලෙන් ලොරි හයකට සහල් ලබාගෙන තිබේ.

ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝල වෙත පැමිණි නිලධාරින් ලොරි විස්සකට සහල් ලබාගෙන ඇත.

මීට අමතරව නිව් රත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි දහයකට සහ සූරිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි තුනකට ප්‍රමාණවත් සහල් ලැබී තිබේ.

සම්බා, කීරි සම්බා සහ නාඩු සහල් තොග මෙලෙස ලැබී ඇත. ලබා ගත් සහල් ස.තො.ස. මගින් අලෙවි කර දින දහයක් ඇතුළත මුදල් ගෙවන බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය වී මෝල් හිමියන්ට පොරොන්දු වී ඇත.

අරලිය සහල් කර්මාන්ත ශාලාවේදී එහි හිමිකරු ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර ඇත්​තේ වී සඳහා ඉහළ මිලක් ගෙවීම හේතුවෙන් සහල් අඩු මිලකට ලබාදිය නොහැකි බවයි. තමන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කර රටේ නීතියට ගරු කරමින් සහල් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කර තිබේ. ‘‘දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මහා සංඝතරන්ය ඉල්ලා සිටියහ. මෙම ස්ථානයට විමර්ශන නිලධාරීන් පැමිණෙන විට නිව් රත්න සහල් ලොරි අටක සහල් පුරවා තිබූ අතර එක් සේවකයකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය එය ව්‍යර්ථ කළේය. කෙසේ වෙතත් විවිධ බාධා මධ්‍යයේ ලොරි දහයකට ප්‍රමාණවත් සහල් ලබාදීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකඟ වී ඇත.

සහල් ලබාගැනීමට පෙර අත්‍යවශ්‍ය සේවා කොමාසාරිස් ජනරාල් කාර්යාලය මහා පරිමාණ වී මෝල්වල ඇති සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගෙන තිබේ. එම වාර්තාවට අනුව මහා පරිමාණ වී මෝල් හතරක වී කිලෝග්‍රෑම් මිලියන 136ක් ඇති බව අනාවරණය වී තිබේ.

(aruna.lk වෙබ් අඩවිය ඇසුරිනි)