තොස සහල් ටෙන්ඩරයට මහා පරිමාණ මෝල් හිමියන් ඉදිරිපත් වී නොමැති බවට හෙළිදරව්වක්

0
Rice Tender in Sathosa - තොස සහල් ටෙන්ඩරයට මහා පරිමාණ මෝල් හිමියන් ඉදිරිපත් වී නොමැති බවට හෙළිදරව්වක්

දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් සඳහා සහල් තොග මිලදී ගැනීම වෙනුවෙන් කැඳවා තිබූ ටෙන්ඩරය සඳහා කිසිදු මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

පසුගිය 6 වැනිදා මෙම ටෙන්ඩරය විවෘත කර ඇති අතර සුළු පරිමාණ සහල් මෝල් හිමියන් 05 දෙනෙකු පමණක් ඔවුන්ගේ මිල ගණන් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් අපේක්ෂා කළ සහල් ප්‍රමාණයෙන් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් සැපයීමට ඔවුන්ට හැකියාව තිබෙන බවයි වාර්තා වන්නේ.

සුදු කැකුළු, නාඩු, සම්බා සහ කීරි සම්බා යන සහල් වර්ගවලින් මෙටි්‍රක් ටොන් 1000 බැගින් සහල් මෙටි්‍රක් ටොන් 4000 ක් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩරය කැඳවා තිබුණා.

ටෙන්ඩර් ඉදිරිපත් කළ සුළු පරිමාණ මෝල් හිමියන් 05 දෙනාට සැපයිය හැකි උපරිම සහල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 1500 ක් බවයි වාර්තා වන්නේ.

වෙළඳපොලේ සහල් මිල ඉහළ ගොස් තිබීම නිසා සාමාන්‍ය ජනතාව බොහෝදෙනා සතොස වෙළඳ මධ්‍යස්ථාන හරහා සහල් මිලදී ගැනීමට පෙළඹී සිටිනවා.

කෙසේ නමුත් සතොස ආයතන හරහා මිලදී ගත හැක්කේ උපරිම සහල් කිලෝ 05 ක් පමණයි.

මේ වනවිට බොහෝ සතොස ශාඛාවල සම්බා සහ කීරි සම්බා සහල් අලෙවිය සිදු නොවන බවයි වාර්තා වන්නේ.

ඒ, සහල් තොග අවසන්වීම හේතුවෙන්.

සහල් සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, මහා පරිමාණ සහල් මෝල් හිමියන් පවසන්නේ එම මිල ගණන්වලට සහල් තොග නිකුත් කළ නොහැකි බවයි.

මේ වනවිටත් සම්බා, කීරි සම්බා වැනි සහල් අලෙවිය සුපිරි වෙළඳසැල් අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම, සහල් සැපයීම අඩාල කිරීමට මේ වනවිට මහා පරිමාණ සහල් මෝල් හිමියන් පියවර ගෙන ඇතැයි සඳහන්.

ඒ අනුව වෙනදා දිනකට සහල් ලොරි 30ත් 40ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන පොළොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන මගින් මේ වනවිට දෛනිකව නිකුත් කරන සහල් තොග ලොරි රථ 02 කට සීමා වී ඇති බවද වාර්තා වනවා.