ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමන නිම කරයි

0
Gypsies Leader Sunil Perera Dead - ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමන නිම කරයි
මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර සංගීතඥයකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෝවිඩ් 19 ආසාදිත ව කොළඹ පෞද්ගලික රෝහලක සති තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ මෙම ප්‍රවීණ සංගීතඥයා ඉන් සුවය ලබා නිවසට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි.

ඉන් අනතුරුව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවූ සුනිල් පෙරේරා සිය දරු මුණුපුරන් සමඟ නිවසේ කාලය ගත කළ අතර මීට සිව් දිනකට පෙර දෙවියන් වහන්සේ හට ස්තූති කරමින් සිදුකළ ගායනයක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා.

කෙසේ වෙතත් පසුව නැවතත් ඔහුගේ පෙණහලුවල මතු වූ යම්කිසි අසාත්මිකතාවක් හේතුවෙන් සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කෙරුණේ මීට දින තුනකට පෙරාතුවයි.

මතුවූ අසනීප තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු මෙම ප්‍රවීණ ගායකයා අද (06) අලුයම් කාලයේ සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කළා.

දශක පහකට වැඩි කලක් මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරලිකාර සංගීතඥයකු වූ සුනිල් පෙරේරා මියයන විට 68 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා කියා සිටියේ.