පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

0
කාළගුණයෙන් රතු නිවේදන

දකුණ , බස්නාහිර , සබරගමුව , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ සහ යාබද ලක්ෂදීපය ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.

මේ අතර , පවතින වැසි සමඟ කළුතර දිස්ත්‍රික්කයේ , කුකුළේ ගඟ සහ කුඩා ගඟ ජල මට්ටම් සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් ඇතැයි , වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඒ හේතුවෙන් , බුලත්සිංහල , පාලින්දනුවර ,මිල්ලනිය සහ හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක් ඇති විය හැකි බවයි.

ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්නැයි , එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

නිල්වලා , ගිං සහ කළු ගංගා වල ජල මට්ටම් ද ඉහළ යමින් ඇතැයි , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ , කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , පාලින්ද නුවර , අගලවත්ත , වළල්ලාවිට , ඉංගිරිය , මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ , නියාගම , ඇල්පිටිය , නාගොඩ , නෙළුව බද්දේගම , තවලම සහ යක්කලමුල්ල ප්‍රදේශවලට අද පස්වරුවේ නායයෑමේ අනතුරු ඇගවීමේ නිකුත් කළේ ය.

අද සිට නැවත දැනුම් දෙනතුරු බේරුවල , දික්ඕවිට , පිටිපන , කල්පිටිය සහ මයිලඩි යන ධීවර වරායන්වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන බහුදින යාත්‍රා සඳහා අවසර ලබා නොදෙන බව , ධීවර දෙපාර්තමේන්තුව පවසයි.