හිටපු ජනපති මෛත්‍රීගෙන් අද තීරණාත්මක ප්‍රකාශයක්

0
Maithripala Sirisena Special Statement Today - හිටපු ජනපති මෛත්‍රීගෙන් අද තීරණාත්මක ප්‍රකාශයක්

අද (2) සවස 5 ට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සර උත්සව සභාව අමතමින්.

ශ්‍රී.ල.නි.ප සභාපතිවරයාද වන හිටපු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වුණු ඇති බවට ඉඟි පළ වනවා.

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂයක් ලෙස යන ගමනේ අනාගතය පිළිබඳව හා ශ්‍රී.ල.නි.පය මූලික වූ වෙනම සන්ධානයක් ගොඩනැගීම පිළිබඳවත් හිටපු ජනපතිවරයා මෙහිදී සිය ස්ථාවරය ප්‍රකාශ කරනු ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඉදිරි දේශපාලන ගමන සඳහා ශ්‍රී.ල.නි.පය මුල් වූ වෙනම සන්ධානයක් ගොඩ නැගීම පිළිබඳව මේ වන විටත් පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන අවසන්.

තව දුරටත් ආන්ඩුවේ කොටස්කාර පාර්ශවයක් ලෙස සිටිනවාද එසේත් නැතිනම් ආණ්ඩුවෙන් ඉවත් වනවාද යන මත දෙකම නියෝජනය කරන පිරිස් ශ්‍රීලනිපය තුළ සිටින බව ප්‍රකට කරුණක්.

ඒ සම්බන්ධයෙන්ද සිය ස්ථාවරය හිටපු ජනපතිවරයා සිය කතාවේදී ප්‍රකාශ කර ඇති බවයි දැන ගන්නට තිබෙන්නේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මහජන සහභාගිත්වයෙන් තොරව ඉතා චාම්ව මෙවර සංවත්සර දින උත්සවය පැවැත්වීමට නියමිතයි.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන් උත්සවයේ ආරාධිත දේශන පවත්වනු ඇති.