දකුණු අප්‍රිකාවේ අලුත් කොවිඩ් ප්‍රභේදය ඕනෑම මොහොතක මෙරටට පැමිණිය හැකියි

0
South African Variant in Sri Lanka - දකුණු අප්‍රිකාවේ අලුත් කොවිඩ් ප්‍රභේදය ඕනෑම මොහොතක මෙරටට පැමිණිය හැකියි

දකුණු අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළු වීමේ ඉඩකඩක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කරනවා.

වෛරසය මෙරටට පැමිණිය ද, ඉන් ආරක්ෂා වීමට නම් නිවැරදිව මුව ආවරණ පැළඳීම ඇතුළු කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවයි ඒ මහතා පවසන්නේ.

එන්නත්කරණය මගින් වෛරසයෙන් ආරක්ෂා වීමට කිසියම් හෝ සහනයක් ජනතාවට සැලසෙන බවත්, නමුත් ලෝකයේ බහුතරයක් ජනතාව එන්නත්කරණයට ලක් කර අවසන් වන තෙක් වෛරසයේ නව ප්‍රභේදයන් බිහි වීම වැළැක්විය නොහැකි බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.

කොවිඩ් ආසාදිතයන්ට ඇතුළු විය නොහැකි ලෙස දැඩි සීමාවන් පනවමින් පුද්ගලයන් එන්නත්කරණයට ලක් කළද නවසීලන්තය තුළට ද දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික වෛරස් ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීමට නොහැකි වූයේ යැයිද ඔහු පවසනවා.

ඇල්ෆා, ඩෙල්ටා ප්‍රභේදයන් ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමට නොහැකි ලෙස කටයුතු කළ ද පසුකාලීනව ආසාදිතයන් සමාජයෙන් වාර්තා වූ බවත් සංචාරක ව්‍යාපාරය ක්‍රියාවට නොනංවා ශ්‍රී ලංකාව වසා දැමීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බවත් ඒ මහතා පවසනවා.