අන්තර්ජාලයේ ආන්දෝලයනට ලක්වූ පහන්තුඩාවේ වීඩියෝව ගැන පොලිසිය කියන දේ

0
Pahanthudawa Waterfall Video Incident - අන්තර්ජාලයේ ආන්දෝලයනට ලක්වූ “පහන්තුඩාවේ”යැයි කියන වීඩියෝව ගැන පොලිසිය කියන දේ

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වන සුන්දර දියඇල්ලක් අසල තරුණ යුවළක් නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳ පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කළේ මෙම නිරුවත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමුකළ අය කවුරුන්දැයි සොයාගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමුවී ඇති බවය.

සමාජ මාධ්‍ය ජාලා අතර සංසරණය වන මෙම නිරුවත් වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයෝ වෙනත් යූටියුබ් මඟින් දැඩි විරෝධය මේ වනවිටත් එල්ල කරමින් සිටිති.

මෙම තරුණ යුවළ නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන දර්ශන රූගත කරගත්තේ බළන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසලදී බව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී.

ඒ අනුව මෙම පහන්තුඩාව දියඇල්ල පිහිටි ප්‍රදේශය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බව කියන අතර මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඩී.ඩී. වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කීවේ ඒ පිළිබඳව ඔහුවද දැනුවත් කර ඇති බවත් මුලින්ම මෙම දියඇල්ල කුමක්දැයි සොයාගැනීමට විමර්ශන සිදුකරන බවත්ය.

එමෙන්ම මෙම වීඩියෝපට හා නිරුවත් පින්තූර කාන්තාවක් සතු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයට යොමුකර ඇති බැව් දිස්වෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව නිරුවතින් මෙලෙස පොදු ස්ථානයක අඹු – සැමියන් ලෙස හැසිරෙන මෙම තරුණ යුවළ සොයා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුවද පළමුවෙන් මෙම දර්ශන ඇතුළත් ප්‍රදේශය, දියඇල්ල හා ඊට පෙනී සිටින යුවළ හඳුනාගත යුතුව ඇතැයිද එම ජේ‍යෂ්ඨ නිලධාරියා සඳහන් කරයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හා යූටියුබ් තුළින් ඇතැමුන් පවසන්නේ බෙලිහුල්ඔය පිහිටි මෙම පහන්තුඩාව දියඇල්ල දර්ශනීය වූද දේශීය හා විදේශිකයන්ගේ සිත් සතන් පහන් කරන්නා වූද ස්ථානයක් බවයි. එමෙන්ම දිවයිනේ බොහොමයක් ස්වාමීන් වහන්සේ නිතරම මෙම ස්ථානයට වැඩම කරන බවත් එමෙන්ම මවුපියන් වැඩිහිටියන්ගේ දූදරුවන්ගේ මෙන්ම බාල මහලු අයගේ ආකර්ෂණය දිනාගත් මෙම දියඇල්ල මෙවන් අනිසි ක්‍රියාවකට යොදාගත් මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රදේශවාසීහු මෙන්ම සමාජ ජාලා ක්‍රියාකාරීහුද පොලිසියෙන් මෙන්ම අදාළ බලධාරීන්ගෙන්ද ඉල්ලීමක් කරති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාද මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමුකර තිබේ.