කොවිඩ් හැදුණත් දරුවාට මවුකිරි දීම නතර නොකළ යුතු හේතු මෙන්න

0
Chemistry Breast Milk for Children - කොවිඩ් හැදුණත් දරුවාට මවුකිරි දීම නතර නොකළ යුතු හේතු මෙන්න

මවුවරුන්ට කොවිඩ් වැළඳුණත් දරුවන්ට මවුකිරි දීම නතර නොකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

මවුකිරිවලින් කොවිඩ් වයිරසය දරුවන්ට සම්ප්‍රේෂණය වන බව මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් තොරතුරු හෙළිවී නැතැයිද හෙතෙම සඳහන් කළේය.

මවට කොවිඩ් ආසාදනයවී දරුවා අසාදනය නොවූ තත්වයේ සිටියද මවුකිරි දීම නොකඩවාම කළ යුතු බව පැවසූ දීපාල් පෙරේරා මහතා මුව ආවරණයක් පැළඳ මුහුණ පසෙකට හරවා ගෙන කිරි දීමේ කටයුතු කළ හැකි බවද පෙන්වා දුන්නේය.

දරුවෙකුට මවගේ මුල් කිරි අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවත් එම මුල් කිරිවලින් ලැබෙන ප්‍රතිශක්තිය වෙන කිසිදු දෙයකින් ලබා ගත නොහැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

නියම කාලයට මවුකිරි නොලැබීමෙන් දරුවන්ට පසුකාලීනව පිළිකා ,ළමා හතිය, දියවැඩියාව වැනි විවිධ ආබාධ ඇතිවිය හැකි බවට වෛද්‍ය පර්යේෂණ මඟින් සොයා ගෙන ඇතැයිද ඔහු පැවසුවේය.

රටපුරා කොවිඩ් ආසාදනයවූ මවුවරුන් විශාල පිරිසක් දරුවන්ට මවුකිරි දීම නතර කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති.