ලංකාවේ කොවිඩ් මරණ 20%ක් සිදුවන්නේ නිවෙස්වල

0
Covid Deaths in Houses - ලංකාවේ කොවිඩ් මරණ 20%ක් සිදුවන්නේ නිවෙස්වල
කොවිඩ් සීග්‍ර ව්‍යාප්තිය සමග සෑම පැයකටම මෙරට කොවිඩ් මරණ නවයක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න පැවසුවාය.

ඇය සඳහන් කළේ මේ වන විට කොළඹ ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති වයිරසයක් බවයි.

පසුගිය දින කිහිපයේ සිදු වූ කොවිඩ් මරණවලින් සියයට විස්සක් පමණ නිවෙස්වල දී සහ ආසාදිතයන් රෝහල් වෙත රැගෙන යන අවස්ථාවේ දී සිදුව ඇති බවද විශේෂඥවරිය අවධාරණය කළාය.

එසේම බොහෝ මරණ කොවිඩ් මර්දන එන්නත ලබානොගත් පුද්ගලයන්ගේ වන බවත් සෑම කෙනකුම කොවිඩ් මර්දන එන්නත ලබා ගත යුතු බවත් ඇය කියා සිටී.

අගෝස්තු මස 20 වැනිදා කොවිඩ් මරණ 198ක්, අගෝස්තු 21 මරණ 183ක්, අගෝස්තු 22 මරණ 194ක් අගෝස්තු 23 මරණ 190,අගෝස්තු 24 මරණ 198ක් ,අගෝස්තු 25 මරණ 190 වශයෙන්ද වාර්තා විය. මෙම මරණවලට අනුව පැයට සිදු වූ මරණ ගණන අටකි.

පසුගිය 26 වැනිදා මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පළමු වරට දෙසීය සීමාව ඉක්මවන ලදී.

ඒ අනුව පසුගිය 26 වැනිදා කොවිඩ් මරණ 209ක්, 27 වැනිදා මරණ 214ක් සහ 28 වැනිදා කොවිඩ් මරණ 214ක් වාර්තා විය.