පානදුර මූලික රෝහලේ සිංහල, මුස්ලිම් මළසිරුරු දෙකක් මාරුවෙලා

0
Covid Death Bodies in Panadura Hospital - පානදුර මූලික රෝහලේ සිංහල, මුස්ලිම් මළසිරුරු දෙකක් මාරුවෙලා

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවකගේ මළසිරුරක් මුස්ලිම් මළසිරුරක් ලෙස අවසන් කටයුතුද සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පානදුර මූලික රෝහලේ අංක 7 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 89ක හා 93ක කාන්තාවන් දෙදෙනකුගේ මළසිරුරු එකිනෙක මාරු වී ඇතැයි වාර්තා වේ.

මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාව ඉකුත් මස විසි එක්වැනි දින මියගොස් ඇති අතර ඇයගේ මළසිරුර වෙනුවට ඥාතීන්ට 26 වැනි දින භාරදී ඇත්තේ එදිනම (26) මියගිය පානදුර, වීරසිංහ මාවතේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවගේ මළසිරුර බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මළ සිරුර එදිනම මඩකළපුව, ඔට්ටමාවඩු ප්‍රදේශයේ මිහිදන් කර ඇති බවද එම ආරංචි පවසයි.

93 හැවිරිදි කාන්තාවගේ දියණිය පෙරේදා (28) මවගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සමඟ රෝහල වෙත ගිය අවස්ථාවේදී මවගේ මළසිරුර එහි නොමැති බව දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව මේ පිළිබඳව රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කර ඇතැයි දැන ගන්නට ඇත.

ඒ වන විටත් මේ පිළිබඳ නොදත් රෝහල් බලධාරීන් සිද්ධිය යටපත් කිරීම සඳහා දැඩි උත්සාහයක් ගෙන ඇති අතර නීතියට සම්බන්ධ එම කාන්තාව විසින් තම මවගේ මළසිරුර ඉල්ලා දැඩි ස්ථාවරය සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව විවිධ පාර්ශ්වයන් මෙම සිද්ධියට මැදිහත්වීමෙන් අනතුරුව රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදුකිරීමේ තීරණය මත සිද්ධිය සමථයකට පත්වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

මේ ආකාරයේ සිදුවීම් කීපයක්ම පසුගිය දිනවල මෙම රෝහලේම සිදු වුවද එම සිද්ධීන්ද කිසිදු පියවරක් නොගෙනම යටපත් වී තිබේ.

මේ පිළිබඳව විමසීම සඳහා පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මිය දුරකථනය හරහා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහය ගත්තද ඇය දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

(mawbima.lk වෙබ් අඩවිය ඇසුරිනි)