කොරෝනා ආසාදිතයින්ට සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙසක්

0
Meals for Covid Positive Patients - කොරෝනා ආසාදිතයින්ට සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙසක්
කොරෝනා ආසාදනය වී නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ප්‍රෝටීන් බහුල ආහාර ඉතාම අවශ්‍ය බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණයවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවාය.

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ, ඒ හරහා කොරෝනා ආසාදිතයින්ට සිය ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගතහැකි බවය.

ඒ අනුව, ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගත හැකි ශාකමය හෝ සත්ත්වමය ආහාර කොරෝනා ආසාදිතයින්ගේ දෛනික ආහාර වේල් සඳහා එක් කර ගැනීම ඉතා වැදගත් වේ.

තව ද විටමින් C බහුල ආහාර ආහාරයට එක් කර ගැනීම මෙන්ම, විටමින් D ශරීරයට ලබා ගැනීම සඳහා දවසකට පැය භාගයක් හෝ ඉර එළියට නිරාවරණය වීම ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළා ය.

මීට අමතරව ධාන්‍යමය ආහාර ලබා ගැනීමත්, නිරන්තරයෙන් වතුර පානය ද ඉතා වැදගත් වන නමුත්, මෙහිදී උණු වතුර සුවි‌ශේෂී වන බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ අතර කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබාදිය යුතු ආහාර සම්බන්ධයෙන් ද ඇය පැහැදිලි කළා ය.

කොරෝනා වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ට විශේෂයෙන්ම ස්වසන අපහසුතා හා ආහාර රුචිය අඩුනම්, ආහාර රුචිය වර්ධනය කරන හා ආහාර ජීර්ණය පහසු කරවන මෘදු ආහාර ලබා දීම සිදු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

ඒ අතර සුප්, කැඳ ආදිය ඉතා වැදගත් වේ.

පැයකට වරක් ඉතාමත් සුළු ආහාර වේලක් ලබා ගැනීම හෝ දියර වර්ග පානය ද කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වඩාත් උචිත ය.