සොයා ගනු ලබන ආසාදිතයන්ට වඩා 5 ගුණයක කොරෝනා ආසාදිතයන් රට තුළ

0
Ravi Kumudesh Statement of Current Covid Situation - සොයා ගනු ලබන ආසාදිතයන්ට වඩා 5 ගුණයක කොරෝනා ආසාදිතයන් රට තුළ
සොයා ගනු ලබන ආසාදිතයන්ට වඩා පස් ගුණයක කොරෝනා ආසාදිතයන් රට තුළ සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි මතවාදය හේතුවෙන් රට වැසීමෙන් ලැබිය හැකි ප්‍රතිඵලවලින් 80%කට හානි වී ඇති බව රවී කුමුදේශ් මහතා පවසනවා.

රෝගීන් සොයා නොගෙන සිටීමේ ප්‍රතිපත්තිය මගින්, ප්‍රතිකාර අත්‍යවශ්‍ය 5%කටත් වඩා අඩු මහජනතාව රෝහලක් සොයාගන්නාවිට ජීවිතක්ෂයට පත්වී තිබීමට බොහෝ ඉඩකඩ පවතින නිසා මෘතදේහවලට පරීක්ෂණ කර කොවිඩ් සොයාගන්නා ප්‍රතිපත්තිය අප වහා වෙනස් කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාව පරීක්ෂණ මගින් සොයාගන්නේ අසාදිතයන්ගෙන් 15.8%ක් පමණක් නිසා සොයා ගනු ලබන රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ආසාදිතයන් ප්‍රමාණයක් රට තුළ සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් හා පරීක්‍ෂණ ප්‍රමාණය වැඩි කිරීම මගින් හමුවන රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් එය රජයට දැරිය නොහැකි බරක් විය හැකි නිසා, එසේ නොකර සිටීමට හේතුව බව පවසමින් ඇතැම් වසංගත රෝග ප්‍රධානීන් හා දේශපාලකයන් ජනාධිපතිවරයාව නොමග යවමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ද ඔහු පවසනවා.

රවී කුමුදේශ් මහතා පෙන්වා දෙනුයේ, ඉන් සිදුවන්නේ රෝගීන් රෝගයක් පවතින බව පවා නොදැන මිය යන්නට සැලස්වීමක් නිසා එය අතිශය සාපරාධී තීරණයක් බවයි.

අවම වශයෙන් තමන් ආසාදිතයෙකු ද නැත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පහසුකම් සැලසීම රජයක වගකීම වන අතර, එම වගකීම පවා පැහැර හරින සෞඛ්‍ය අමාත්‍යංශයක් කුමක් සඳහා ද යන්න පවා ගැටලුවක් බවද ඔහු අවධාරණය කරනව.

ආසාදිතයන්ගෙන් 80%ක් පමණ රජයට කිසිදු බරක් නොවන සේ කළමනාකරණය කරගත හැකිව තිබියදී, රෝගීන් නිවැරදිව හඳුනා ගැනීම කිසිසේත් ම අමතර බරක් වන්නේ නැතැයි ද රවී කුමුදේශ් මහතා පෙන්වා දෙනවා.