කොරෝනා සුවවුණ උසස් පෙළ සිසුවා නිදි ඇඳේදිම මියගිහින්

0
Student Dead in House - කොරෝනා සුවවුණ උසස් පෙළ සිසුවා නිදි ඇඳේදිම මියගිහින්

කොවිඩ් ආසාදිතව දින 14ක නිරෝධන කාලයද අවසන් කළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවෙකු පෙරේදා (25) රාත්‍රියේදී නිදි ඇඳේදීම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි.

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මෙම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිට ඇත.

ඔහු පෙරේදා (25) රාත්‍රි නින්දට ගිය පසු නිදි ඇඳේදීම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිසුවා සහ ඔහුගේ පවුලේ සියලු දෙනා මීට දෙසතියකට පමණ පෙර කොවිඩ් ආසාදිතයන් බව තහවුරුවීම නිසා නිවස තුළම නිරෝධායනයට ලක්වී ඇති අතර ඔවුන්ගේ නිරෝධායන කාලය ද ඉකුත් 23 වැනිදායින් අවසන්ව ඇත.

ඔවුන් සියලු දෙනා පෙරේදා (25) රාත්‍රී ආහාර ගෙන නින්දට ගොස් ඇති අතර මෙම සිසුවා සමඟ එකම ඇඳේ නිදාගන්නා ඔහුගේ පියා ඊයේ (26) අලුයම 2.00ට පමණ සිසුවාගේ සිරුර අත ගා බැලීමේදී සිරුර සීතලව තිබූ නිසා මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍යවරයකු නිවසට කැඳවා ඇතැයි වාර්තා වේ.

සිසුවා ඒ වනවිටත් මියගොස් පැය තුනක පමණ කාලයක් ගත වී තිබී ඇතැයි තහවුරු වී ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන ක්‍රමවේදය අනුව ඊයේ (26) සිදුකිරීමට නියමිතව තිබිණි.