පෙරේදා නිවෙස් තුළම මියගොස් ගම්පහ දිසා රෝහලට ගෙනා හත්දෙනාටම කොවිඩ්

0
Covid Deaths in House of Gampaha District - පෙරේදා නිවෙස් තුළම මියගොස් ගම්පහ දිසා රෝහලට ගෙනා හත්දෙනාටම කොවිඩ්

හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත 25 වැනිදා ගෙනැවිත් තිබූ නිවාස තුළදී මියගොස් සිටි 07 දෙනකු රෝහලේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත වීමෙන් ඔවුන් මියගොස් තිබූ බවට අනාවරණය වූ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී.පී.ආර්.පී. රාජපක්ෂ මහතා ඊයේ (26දා) පැවැසීය.

24 වැනිදා රාත්‍රියේදී නිවෙස තුළදීම මියගොස් සිටි පිරිමි පුද්ගලන් තිදෙනකු සහ කාන්තාවන් සිවු දෙනකු මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබූ බව හදිසි මරණ පරීක්ෂක රාජපක්ෂ මහතා කීය.

මියගිය පිරිමි පුද්ගලයන් තිදෙනා අවුරුදු 51, 71 සහ 83 වියේ පසුවන්නන් බවත් කාන්තාවන් සිවුදෙනා අවුරුදු 79, 80, 88 සහ 89 යන වියේ පසුවන්නන් බවත් හෙතෙම පැවැසීය.

ගණේමුල්ල පොලිස් වසමේ පදිංචි සිවුදෙනකුත්, ගම්පහ, වැලිවේරිය සහ බෙම්මුල්ල යන පොලිස් වසම්වල පදිංචි තිදෙනකුත් මෙසේ මිය ගොස් තිබිණි.

කොරෝනා ආසාදිත වීමෙන් මියගොස් තිබූ එම හත්දෙනාගේ අවසන් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදුකරන ලෙසට එම මියගිය අයගේ ඥාතීන්ට උපදෙස් ලබාදුන් බවත් ඥාතීන්ගේ නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ප්‍රකාශ සටහන් කරගෙන හදිසි මරණ පරීක්ෂණ කටයුතු අවසන් කරන බවත් හදිසි මරණ පරීක්ෂක රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.