බිරිඳගේ කොවිඩ් රාජකාරිවල උදව්වට ගිය සැමියා ඇද වැටී මියයයි

0
Former Army Officer Dead in Malvana - බිරිඳගේ කොවිඩ් රාජකාරිවල උදව්වට ගිය සැමියා ඇද වැටී මියයයි

මල්වානේ කළුකොඳයාව ප‍්‍රදේශයේ කොවිඩ් සහන රාජකාරි කටයුතු සඳහා සහාය වෙමින් සිටි එහි සංවර්ධන නිලධාරිනියගේ සැමියා පෙරේදා (24 දා) පස්වරුවේ දොම්පේ ඉන්ධන පිරවුම්හල අසල දී හදිසියේම ඇද වැටී මියගොස් තිබේ.

මොහු එම රාජකාරි කටයුතුවලට සහාය වෙමින් සිට සිය ති‍්‍රරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙසේ ඇද වැටී මියගොස් ඇත. එසේ මියගියේ දෙකටන, ගැටහැත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි විශ‍්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන ඞී. ජගත් කුමාර චන්ද්‍රසිරි නමැති 49 හැවිරිදි එක්දරු පියෙකි. මොහු කළුකොඳයාව – බටහිර සංවර්ධන නිලධාරිනී තමරා දිල්මිනි මහත්මියගේ සැමියා වන අතර ඇය සමග රාජකාරී කටයුතුවලට සහාය වෙමින් සිටි බව කියති. මේ පිළිබඳ මරණ පරීක්ෂණය දොම්පේ හදිසි මරණ පරීක්ෂක ජගත් ශ‍්‍රී ලාල් මහතා විසින් දොම්පේ රජයේ රෝහලේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා විසින් පවත්වා මෙය හෘදයාබාධයකින් සිදුවූ මරණයක් බවට වාර්තා කරන ලදී. දොම්පේ පොලිසියේ පො.කො. රංජිත් මහතා විසින් සාක්‍ෂි මෙහෙයවනු ලැබීය. මෙහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි හා වෛද්‍ය වාර්තාව අනුව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් එම මරණය ස්වභාවික මරණයක් බවට නිගමනය කළේය.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)