යොහානි මුළු ඉන්දියාව කළඹයි

0
Yohani de Silva Song in India - යොහානි මුළු ඉන්දියාව කළඹයි
ශ‍්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා පිළිබඳ පුවත්වලට ඉන්දීය මාධ්‍යවල ප‍්‍රමුඛ තැනක් හිමිව තිබේ.

ඇය ගායනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයන් කෝටි 5 කට අධික සංඛ්‍යාවක් නරඹා තිබීමත් ඉන්දියාව පුරා මෙම සිංහල ගීතයට නොසිතූ ආකාරයේ ජනප‍්‍රියතාවක් හිමිවීමත් නිසා ඉන්දීය මාධ්‍ය මේ සිංහල ගායිකාව ගැන කතා කරයි.

මෙම සිංහල ගීතයට ඉන්දියාවේ විවධ භාෂාවල කොටස් එක්කර ගායනා කිරීම යූ ටියුබ් ජාලයේ විලාසිතාවක් බවට පත්වී ඇත. ශ‍්‍රී ලාංකිකයකුගේ ගීතයකට යූ ටියුබ්හි මෙවැනි දැවැන්ත ප‍්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප‍්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්ත යූ ටියුබ් පරිශීලකයන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.

විශේෂයෙන්ම ජනප‍්‍රිය නළු අමිතාබ් භච්චන් මෙම ගීතය අගය කිරීම ඉන්දියාව පුරා ‘මැණිකේ මගේ හිතේ’ රැල්ලක් බිහිවීමට හේතුවකි.

යොහානි, කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප‍්‍රධානී ලෙස විශිෂ්ට සේවයක් කළ මේජර් ජෙනරාල් ප‍්‍රසන්න ද සිල්වා මහතාගේ දියණියයි. එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා ගිණුම්කරණ උපාධියක් හිමි ඇය ජනප‍්‍රිය ගායක භාතිය සහ සන්තුෂ් සමඟ 2020 වසරේ ‘සිරිසඟබෝධි මාළිගාවේ’ ගීතය ගායනය කිරීමත් සමග ජනප‍්‍රිය වූවාය.

පහතින් දැක්වෙන්නේ www.indiatv.in හින්දි වෙබ් අඩවිය මගින් අපේ ගායිකාවගේ වික‍්‍රමය ගැන පළ කළ පුවතින් කොටසකි.

“සමාජ මාධ්‍ය ජාලය ඕනෑම අයකු එක් රැයකින් තරුවක් කරයි. ශ‍්‍රී ලංකාවේ රැප් ගායිකා යොහානිට සිදු වූයේද එබඳු දෙයකි. ඇය මේ වන විටත් බෙහෙවින් ජනප‍්‍රිය වී සිටී. මේ දිනවල ඇයගේ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ අන්තර්ජාලය තුළ ඉතා ජනප‍්‍රිය වෙමින් පවතී. ඇයගේ හඬට ජනතාව බෙහෙවින් කැමතියි. අමිතාබ් භච්චන්ට පවා තම ප‍්‍රශංසා කිරීම් නැවැත්විය නොහැකි විය. යොහානිගේ මෙම වීඩියෝ පටයට ඇය සමඟ සතිෂාන් ද ඇතුළත්ය. මේ වන විට යොහානි සමාජ මාධ්‍ය ජාල සංවේදනය බවට පත්ව ඇත. යොහානි ද සිල්වාගේ වීඩියෝ පටය ඉන්දියාව තුළ වේගයෙන් ව්‍යාප්ත වුවද විශේෂ කරුණ නම් එය හින්දි භාෂාවෙන් නොවීමයි. එසේ තිබියදීත් මෙම ගීතය ඉතා ජනප‍්‍රිය වී ඇත.’