නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස්

0
Quarantine Curfew in Sri Lanka - නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස්

අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු මස 30 වන සඳුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් මෙම තීරණයට එළැඹි අතර, සැප්තැම්බර් 01 දාට පෙර ඔවුන් එන්නත්කර අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත 23 සඳුදා දිනට පෙර වාර්තා කළ යුතුයි.

එසේම 1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කිරීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම ද සලසා තිබෙනවා.

මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.

කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කෘෂිකාර්මික, ඇඟලුම් සහ ඉදිකිරීම් කර්මාන්ත, අපනයන කර්මාන්ත, ඖෂධ අළෙවි සැල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හා ගුවන් තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරනනන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා.

මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් බවද සඳහන්.