එන්නතින් ප්‍රතිශක්තිකරණය ලැබෙන්න මාස 3ක් ගතවේ

0
Covid 19 vaccine - එන්නතින් ප්‍රතිශක්තිකරණය
එන්නතින් ප්‍රතිශක්තිකරණය ඇතිවීමට ගතවන කාලය

කොවිඞ් පාලනය සඳහා ලබා දෙන එන්නතින් ප්‍රතිශක්තිකරණය පුද්ගලයකුගේ සිරුරට ඇතිවීමට මාස දෙකක හෝ තුනක පමණ කාලයක් ගතවන බැවින් මේ වන විට රට පුරා ශීඝ‍්‍රයෙන් පැතිරයන කොවිඞ් වෛරස රෝගය පාලනය සඳහා ඇති එකම විසඳුම ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීම යැයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවා.

ඇය මේ බැව් පැවසූවේ ශ‍්‍රී ලංකා වෛද්‍යසංගම් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද සඳහන් කළා.

” කොවිඞ් රෝගය ශ‍්‍රී ලංකාවේ පැතිරගිය මුල් අවස්ථාවේදී දිනකට රෝගීන් හමු වූයේ ඉතා සුළු පිරිසක්. නමුත් දැන් දිනකට විශාල පිරිසක් හමුවෙනවා. මේ වන විට රට තුළ පැතිර යන බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදයට ගොදුරු වන පිරිස වැඩියි.

එනිසා එන්නත් කිරීම, මුව ආවරණ පැළඳ ගමන් බිමන් යෑම මගින් පමණක් මෙම වසංගතය පාලනය කරන්න බැහැ. අනිවාර්යයෙන්ම සංචරණ සීමා පැනවිය යුතුයි.

රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නැති ආසාදිතයින් තම නිවෙස්වලම රඳවා ප‍්‍රතිකාර ලබාදීම හොඳයි. ඔවුන්ගේ ආශ‍්‍රිතයින්ද නිවෙස් තුළම නිරෝධායනය කිරීම වඩාත් සුදුසුයි. එය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය මත සිදු කළ යුතුයි.”

(https://liveat8.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)