කොරෝනා නිසා මිය ගියා යැයි සිතූ තරුණයාට සිහිය ඇවිත් රෝහලෙන් පලා යයි

0
Patient in Kurunegala Hospital - කොරෝනා නිසා මිය ගියා යැයි සිතූ තරුණයාට සිහිය ඇවිත් රෝහලෙන් පලා යයි

මහ මඟ වැටී සිටියදී හමුවූ තරුණයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට
පත්වූ අයකු බව සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ
රෝහලෙන් පලා යාමේ පුවතක් අද (19දා) වාර්තා විය.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි
තරුණයෙකි.

අධික ලෙස මත්කුඩු පානයට ඇබ්බැහිව සිටින අයෙකු බව කියන මෙම තරුණයා අද උදෑසන
කුරුණෑගල විල්ගොඩ මාර්ගයේ ගසක් යට වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් දැක ඇත.

හමුවන විටත් බිම වැතිරී සිටි ඔහුගේ මුහුණ ඇතුළු සිරුර පුරා කුහුඹුවන් සහ මැස්සන් පිරී සිටි
බැවින් මේ දිනවල පවතින තත්ත්වය අනුව මොහු කොරෝනා වෛරසය ආසාදනය වීම
හේතුවෙන් මරණයට පත්ව මහ මඟ වැටී සිටි අයෙකු බවට ප්‍රදේශවාසීන් විසින් නිගමනය කර
ඇත.

එම නිගමනය හේතුවෙන් මොහුට ආසන්න වීමට කිසිවෙකුත් උත්සාහ දරා නැති අතර පසුව
පොලීසිය සහ ඒ අසල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් එක්ව එම
තරුණයා ගිලන් රථයක දමා කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇත.

රෝහලට රැගෙන ගොස් මඳ වේලාවකට පසුව මරණයට පත්ව ඇති බවට සැක කළ තරුණයාට
සිහිය ලැබී තිබූ බවද ඉන් ස්වල්ප වේලාවකට පසුව ඔහු හොර රහසේම රෝහලෙන් පලා ගොස්
ඇති බවද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සිද්ධියේ සැබෑ තතු අනාවරණය වීමට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ
තරුණයෙකු මහ මඟ වැටී මියගොස් ඇති බව සඳහන් පුවතක් ඉතා උණුසුම් ලෙස කුරුණෑගල
නගරය පුරා පැතිර ගොස් තිබුණි.