කොළඹ එනවා නම් වරක්, දෙවරක් නොව කිහිපවරක් සිතන්න

0
Rosi Senanayaka Statement about Current Situation in Colombo - කොළඹ එනවා නම් වරක්, දෙවරක් නොව කිහිපවරක් සිතන්න

කොළඹ නගරයේ අත්‍යවශ්‍යම සේවාවන් හැර අනෙක් සේවාවන් සහ ව්‍යාපාරික කටයුතු සති කිහිපයකට නැවත්වීම වඩාත් ඵලදායි වනු ඇතැයි කොළඹ පුරපතිනි, රෝසි සේනානායක මහත්මිය පැවසීය.

ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දැමමින් කොරෝනා පාලනයට දුන් සහයෝගය මහත් සේ අගය කරන බවය.

අත්‍යවශ්‍යම කරුණකට සහ රැකියා අවශ්‍යතාවලට හැර නිවසින් පිටතට නොයන ලෙසත් ආරක්ෂිතව නිවසේ රැඳී සිටින ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දැනට මෙරට සියලුම රෝහල් උපරිම ධාරිතාවට පත්ව ඇති අතර කොරෝනා ආසාදිතයින් සඳහා වෙන්කර තිබු දැඩි සත්කාර ඒකක ඇඳන් ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව ද ඇය සඳහන් කරන්නීය.

රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් කොරෝනා මර්දනය කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසය.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රමුඛ රජයට මෙන්ම කොළඹ මහ නගර සභාවටත් මේ දුෂ්කර අවස්ථාවේ අවශ්‍ය සහය ලබදෙන ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටී..

කොළඹ මහ නගර සභාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.