තේ ඉඩමේ වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්

0
Person Dead by Covid in Galle - තේ ඉඩමේ වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්

තේ ඉඩමේ වැඩකරමින් සිටියදී එකවරම ඇදවැටී මිය ගිය තිදරු පියා මියයෑමෙන් පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (17දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මියගොස් ඇත්තේ අන්නක්ගොඩවත්ත මැදකිබීය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි තිදරු පියෙකි. මොහු මෙම මස 03 වැනි දින සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව එන්නත්කරගෙන ඇති බවද හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා සිදුකරනු ලැබීය.

හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂිදෙමින් මියගිය අයගේ බිරිය වන පාසල් ගුරුවරියක් වන පිලිවැන්දලදුරගේ මෝනිකා කුමුදුනි 58 මහත්මිය මෙසේ කීවාය.

“සැමියාට මා දන්න තරමින් කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. හොඳට ඉඩකඩම්වල වැඩකරගෙන හිටියා කවදාවත් රෝහලක ඉඳලා නැහැ. අපේ තේ ඉඩමේ දලු කැඩුවා. තේ ඉඩම තියෙන්නේ නිවෙසේ සිට කිලෝමීටර් 02ක් පමණ දුරින්. මහත්තයා නිවෙසින් තේ බීලා වැඩකරන අයටත් තේ බොන දේවල් කඩයෙන් අරගෙන උදේ 7.30ට පමණ නිවෙසින් ගියා. යතුරුපැදියෙන් තමයි ගියේ. උදේ 9.00ට විතර දලු කඩපු අයකුගෙන් මට දුරකථන ඇමැතුමක් ආවා මහත්තාය වැටිලා ඉන්නවා කියලා. මා දරුවන් සමඟ ගෙදර වාහනයෙන් තේ ඉඩමට ගියා. මා යනවිට මහත්තයා තේ ඉඩමේ වැටිලා හිටියා. සිහිය තිබුණේ නැහැ. කතා කළේ නැහැ. පුතා ඉක්මනට සැමියාට කෘත්‍රිම ශ්වසනය දුන්නා. ඒ අතර දලු කඩපු අය 1990ට කතා කරලා තිබුණා. අපි රෝගියාව අරගෙන පාරට එනවිට 1990 ගිලන් රථය ආවා. ඒ අය රෝගියා පරීක්ෂා කොට කීවා භාර ගන්න බැහැ කියලා. අපි වාහනයෙන් රෝගියා කරාපිටිය රෝහලට රැගෙන ආවා. රෝහලෙන් රෝගියා පරීක්ෂා කොට කීවා ඔහු මියගිහින් කියලා. මහත්තයාට මේ මාසයේ 03 වැනි දින තමයි සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දුන්නේ. මියගියාට පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මහත්තයාට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වුණා.” යැයිද ඇය කීවාය.

පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.

(mawbima.lk වෙබ් අඩවිය ඇසුරිනි)