රනිල්ගේ යෝජනා 21ට ජනපති කැමති වෙයි?

0
President and Former Prime Minister Discussed about Current Covid Situation - රනිල්ගේ යෝජනා 21ට ජනපති කැමති වෙයි?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙරේදා ( 17) ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවේදී සෞඛ්‍ය සහ ආර්ථිකය සුරක්ෂිත වු රටක් වෙනුවෙන් කරුණු 21 යුත් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවැසීය.

මෙහිදී වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ කඩිනමින් පක්ෂ නායක රැස්වීමක් පවත්වා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්තාවක් ලබා දෙන ලෙසයි.

රටේ ආර්ථික සුරක්ෂිත භාවය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ව්‍යාපාරික ප්‍රජාවද හැකි ඉක්මනින් රැස් කර දෙන මෙන් මෙහිදී එජාප නායකයා ජනාධිපතිගෙන් ඉල්ලා ඇත.

මේ සියලු අදහස් වලට ජනාධිපතිවරයා සිය ප්‍රසාදය දැක්වූ බව එජාප මහලේකම් වරයා වැඩිදුරටත් පැවැසීය.

එජාපය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා මාලාව මෙසේයි.

01. කෝවිඩ් වසංගතයට මුහුණදීම උදෙසා හමුදාව සහ ඉදිකිරීම් සමාගම්වල උපරීම සහයෝගය ඇතිව තාවකාලික ක්ෂේත්‍ර රෝහල් ඉදිකිරීම. රෝගීන් සඳහා නව ඇඳන් සම්පාදනය ද මෙයට ඇතුළත් ය.

02. ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් සඳහා කෘත්‍රිමව ඔක්සිජන් ලබාදෙන උපකරණ (ventilators) ලබාගැනීම වෙනුවෙන් මෙන්ම අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය පවත්වා ගැනීම වෙනුවෙන් රජය වහාම ජාත්‍යන්තර සහාය ලබාගත යුතු ය. මේවා රටට ඉක්මණින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් පහසුකම් භාවිතා කළ යුතු ය.

03. රටේ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහායවීම සඳහා විශ්‍රාමික වෛද්‍ය වෘත්තිකයින්ගේ මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය අංශ වෘත්තිකයන්ගේ සේවය ද ලබාගත යුතු ය. හැකි අයුරින් අනෙකුත් විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්ගේ ද සහාය ලබාගැනීම කාලෝචිත ය.

04. එන්නත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු අතර, COVID-19 ආශ්‍රිත කටයුතු වෙනුවෙන් දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවා, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම නිර්දේශිත වේ.

05. දෙමාපියන්ගේ අනුමැතියට යටත්ව කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන වයස අවුරුදු 12 සිට ඉහළ දරුවන් ද ඇතුළත් වන ලෙස පුළුල් කළ යුතු ය.

06. එන්නත්කරණ වැඩසටහන වේගවත් කළ යුතු අතර, එන්නත් වැඩසටහන සඳහා ප්‍රායෝගික කාල රාමුවක් වෛද්‍ය බලධාරීන් විසින් ස්ථාපිත කළ යුතු ය.

07. මහජනතාව සඳහා සිදුකෙරෙන PCR පරීක්‍ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු ය.

08. සෞඛ්‍ය සේවයේ සියලුම සාමාජිකයින් නිතිපතා PCR පරීක්‍ෂණයන්ට භාජනය කළ යුතු අතර, පෞද්ගලික පරිහරණය සඳහා සෞඛ්‍ය ආරක්‍ෂක උපකරණ ඔවුන් වෙත ලබාදිය යුතුය.

09. කෝවිඩ් -19 ආසාදිතයින් සහ මරණ පිළිබඳ නිවැරදි දත්ත ඇතුලත් සංඛ්‍යාලේඛන පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු යි.

10. කෝවිඩ් මර්දන කාර්යසාධක බලකාය සඳහා නීතියේ කිසිදු විධිවිධානයක් නොමැත. එම බලතල ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට, ආපදා කළමනාකරණ සභාවට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ ය. එම නිසා මෙම කාර්යසාධක බලකාය වහාම අහෝසි කළ යුතු අතර, කැබිනට් මණ්ඩලය මෙහි වගකීම භාරගත යුතු වේ. ඒ අනුව අදාළ ඇමතිවරුන්, විපක්ෂ නායක ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ සභාව ඉක්මණින් කැඳවිය යුතු ය. කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන් හරහා ය.

11. ඊට අමතරව කැබිනට් මණ්ඩලයට සහාය වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පුද්ගලයින්ගෙන් සමන්විත විශේෂ උපදේශක කණ්ඩායමක් පිහිටුවිය යුතු ය.

12. කෝවිඩ් -19 සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව සතිපතා රැස්විය යුතු ය.

13. කෝවිඩ් -19 හා ඊට සම්බන්ධ සියලූම කටයුතුවල මූලික කාර්යභාරය වෛද්‍ය බලධාරීන් වෙත පැවරිය යුතු අතර, ඊට සහාය දෙන කණ්ඩායම් වශයෙන් හමුදාව සහ අනෙකුත් අවශ්‍ය ආයතන පවත්වා ගෙන යා යුතු ය. සෞඛ්‍ය සේවා පනතට අනුකූලව සියලූම කෝවිඩ් -19 මර්ධන කාර්යයන් සෞඛ්‍ය විශේෂඥයින්ගේ සෘජු පාලනය සහ අධීක්ෂණය යටතේ තිබිය යුතු ය.

14. විපක්ෂය විසින් ඉදිරිපත් කොට තිබෙන “මහජන සෞඛ්‍ය හදිසි පනත් කෙටුම්පත”, පාර්ලිමේන්තුව විසින් කෙටුම්පතක් ලෙස සකස් කොට වහාම බලාත්මක කළ යුතු ය. රජය විසින් ඉදිරිපත් කර තිබෙන “කොරෝනා වෛරසය – 2019 (COVID-19) (තාවකාලික විධිවිධාන)” යන අර්ධ සහන සපයන පනත ද සම්මත කළ යුතු ය.

15. කෝවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම වෙනුවෙන් සිය සාමාජික රටවලට ඉල්ලීම් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විශේෂ අයිතියක් ලබාදී ඇත. මෙමගින් සෞඛ්‍ය අංශ වෙත අතිරේක මූල්‍ය සම්පත් සපයනු ලබයි. ඒ අනුව, මෙම අරමුදල විසින් මෙරට සෞඛ්‍ය අංශය සඳහා ඩොලර් මිලියන 800 ක අතිරේක මූල්‍ය ප්‍රදානයක් වෙන් කළ අතර, එය එන්නත් මිලදී ගැනීම ඇතුළුව කෝවිඩ් වියදම් සඳහා වැය කළ යුතු ය.

16. කෝවිඩ් -19 වසංගත තත්ත්වය සහ විදේශ විනිමය සංචිත නොමැතිකම හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. හදිසි ආර්ථික සහන වැඩසටහන් සඳහා ද ඉඩකඩක් නොමැත. එබැවින්, රජය වහාම අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ යුතු ය.

17. පුරවැසියන්ගේ සංචරණය අඩු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයට සිය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු ය.

18. පොදු ප්‍රවාහන සේවයත් එහි ධාරිතාවයෙන් අඩකට සීමා කළ යුතු අතර, මහජනතාව අත්‍යවශ්‍ය ගමන් වෙනුවෙන් පමණක් සීමා කළ යුතු ය.

19. එන්නත් නොකළ සියලුම සංචාරකයින් සඳහා රටේ දේශසීමා වහාම වසා දැමිය යුතුය.

20. ආපදා කළමනාකරණ සභාව සහ අධ්‍යාපන ආයතන එක්ව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලැස්මක් සකස් කළ යුතු ය. එමගින් නැවත සුරක්ෂිතව පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට හෝ රටේ සියලුම දරුවන්ට සමානව අධ්‍යාපනය හිමිවීමේ අවස්ථාව උදාකර දීමට කටයුතු කළ යුතු ය.

21. සියලු COVID-19 වියදම් අධීක්ෂණය කිරීම සඳහා වෙනම වැය ශීර්ෂයක් ස්ථාපිත කළ යුතු ය . මෙය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකියනු ඇත.

(aruna.lk වෙබ් අඩවිය ඇසුරිනි)