අද නිකුත් වූ 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න

0
New Health Guide Series - අද නිකුත් වූ 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න

අද සිට ලබන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම කාල සීමාව තුලදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සහ ඖෂධ ආදිය මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් පුද්ගලයෙකුට පමණයි.

මීට අමතරව සියලූම දිවා සුරැකුම් මධ්‍යස්ථාන සති 02 ක කාලයක් සඳහා වසා දැමීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම සියලූ පෙර පාසැල්, පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා දැමෙනු ඇති.

සියලූම ප්‍රිය සම්භාෂණ සහ විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් වන අතර ආගමික ස්ථාන තුළ සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

එමෙන්ම අද දිනයේ සිට සියලූම සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද, විනෝද සැණකෙළි, පිහිනුම් තටාක වසා දැමිය යුතු වනවා.

ආපනශාලා තුල එකවර ආහාර ගැනීමට අවසර හිමිවන්නේ 50% ක ධාරිතාවයෙන් යුතු පිරිසකට වන අතර හෝටල්, තානායම් සහ කාමර කුලියට ලබාදීමේ ස්ථාන 25% ක ධාරිතාවයකින් යුක්තව පමණක් පවත්වාගෙන යාමට අවසර හිමිවනවා.

ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් රැගෙන යාම සිදුකර යුතු වන අතර අන්තර් පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන්නේ අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට පමණයි. පෞද්ගලික කුලී මගී රථ සේවා භාවිත කිරීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුයි.

එමෙන්ම පෞද්ගලික වාහනවල ගමන් බිමන් යාමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු වනවා.

අත්‍යවශ්‍ය සේවාවන්ට සම්බන්ධ ආයතන පවත්වාගෙන යාමේදී සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් ගෙන්වීමට ආයතන ප්‍රධානින් පියවර ගත යුතු වනවා.

එමෙන්ම රාජ්‍ය ආයතන සහ පුද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමේදී සේවය සඳහා අදාළ පළාත තුල පදිංචි සේවකයින් කැඳවීමට මුලික ලෙස පියවර ගත යුතුවන අතර යම් හෙයකින් ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත පමණක් සේවකයින් කැඳවීමට හැකියි.

කිසිදු සම්මන්ත්‍රණ, රැස්වීම් හෝ සන්නාම ප්‍රවර්ධන සිදුකිරීම් සපුරා තහනම් වන අතර ඇගලූම් කම්හල්, කෘෂිකර්ම වගා බිම් සහ ධීවර කටයුතු ද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන්ට යටත්ව සිදුකිරීම සඳහා අවසර හිමි වනවා.

සියලූ සාප්පු සංකීර්ණ අද සිට වසා දැමිය යුතු වනවා.

බැංකු, කල්බදු පහසුකම් ලබාදෙන ආයතන සහ උකස් මධ්‍යස්ථාන සඳහා එකවර ඇතුලත් කර ගැනීමට අවසර හිමිවන්නේ අදාළ ආයතනයේ ප්‍රමාණයෙන් සියයට 10 ක් පමණක් වන ගණුදෙනුකරුවන් පිරිසකට පමණයි.

එලෙස පැමිණෙන පිරිස් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට වගබලා ගැනීම ආයතනය විසින් සිදුකළ යුතු වනවා.

රෙදිපිළි වෙළෙදසැල් විවෘත කිරිමට අවසරය හිමිවන අතර එයද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්වයි.

කෘෂිකාර්මික කටයුතු පදනම් කරගෙන සිදුකරනු ලබන ආයතන ද සිය කටයුතු දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සිදුකළ යුතුයි.

සිල්ලර බඩු අලෙවිසැල් තුලට එකවර පැමිණිය හැක්කේ ඇති ඉඩ ප්‍රමාණයෙන් සියයට 10 ක පිරිසකට පමණයි.

ඇඳුම් මැසිමේ ස්ථාන, ජංගම වෙළෙඳුන්, ඉන්ධන පිරිවුම්හල් සහ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථාන තුල කටයුතු ද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදුකිරීමට අවසර හිමිවනවා.

සෞඛ්‍ය සේවා කටයුතු ද අත්‍යවශ්‍ය සේවකයින් සංඛ්‍යාවක් අනුව නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පවත්වාගෙන යා යුතුයි.