ආණ්ඩුව රට ලොක්ඩවුන් නොකරයි නම් සියලු වෘත්තිය සමිති රට ලොක්ඩවුන් කරන්න යයි

0
Lockdown Warning by Ravi Kumudesh - ආණ්ඩුව රට ලොක්ඩවුන් නොකරයි නම් සියලු වෘත්තිය සමිති රට ලොක්ඩවුන් කරන්න යයි

මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කොට ‘ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදයක්’ නිර්මාණය වන තුරු බලා නොසිට රට සම්පූර්ණයෙන් ම වසා දැමීමට ආණ්ඩුව තීරණයක් නොගතහොත් සෞඛ්‍ය හැර සියලු වෘත්තීන්හි, වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව රට ‘ලොක්ඩවුන්’ කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බහුජන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (අගෝස්තු 17) පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එළඹෙන සිකුරාදා වන වනවිට රජය රට සම්පූර්ණයෙන් ම වසා දැමීමක් සිදු නොකළහොත් සඳුදා සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බව හෙතෙම අවධාරණය කළේය.

එමෙන් ම, මෙය කිසිසේත් ම තම වෘත්තීය ඉල්ලිම් දිනා ගැනීම උදෙසා දියත් කෙරෙන ක්‍රියාමාර්ගයක් නොව රටේ ජනතාව නිවෙස්වල තබා ගැනීමට සිදු කරන ක්‍රියාවක් බවත් මේ අවස්ථාවේදී සිදු කළ යුත්තේ, වෛද්‍ය සහ විද්‍යාත්මක හඬට කන් දීම බවත් ඔහු පැවසීය.

එසේ නොවුණහොත් රට ඉතා නරක තත්වයකට පත්විය හැකි බව රවි කුමුදේශ් මහතා අනතුරු ඇඟවීය.

ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, වෛද්‍ය සහ විද්‍යාත්මක ඉල්ලීමට සවන් දෙන ලෙසය.

“ඉන්දියාවත් එන්නත තුළින් සියල්ල කරගන්න ගිහින් අවසාන වශයෙන් ඩෙල්ටා කියලා අලුත් ප්‍රභේදයක් බිහි කරගත්තා. ශ්‍රී ලංකාවත් කොයි මොහොතෙ හරි වාර්තාගත වෙනවා. මේ යන විදියට ශ්‍රී ලංකානු ප්‍රභේදයක් කියලා එකක් බිහි වුණොත්. රටක ජනගහනය රංචු ප්‍රතිශක්තියකට ස්වභාවිකව ම නිරාවරණය කරනවා කියන්නේ, මැරෙන අයට මැරෙන්න දීලා ජීවත්වෙන අයට ජීවත් වෙයන් කියන නියෝගය. ඒ කියන්නේ අර ඉන්න පුළුවන් එක්කෙනා කාල ඇඳල ඉන්නවා. බැරි එක්කෙනා මැරිලා යනවා කියන එක. ඒකට වසංගත පාලන ඒකකයක් ඕනෙත් නෑ, සෞඛ්‍ය සේවාවක් ඕනෙත් නෑ, ආණ්ඩුවක් ඕනෙත් නැහැ. ඒක කරන්න මේ රටේ මිනිස්සු නිකම් ම
හිටියහ ම ඇති. එහෙම කොරෝනා පාලනයකට අපි කොරෝනා පාලනය කරනවා කියන්නේ නෑ. මේක භයානක තත්වයක්.

මේ භයානක තත්ත්වයට රජය තීරණයක් ගත්තෙ නැත්තං සෞඛ්‍ය සේවාවේ ඒකරාශී හඬට කන් දෙන්නෙ නැත්නම් අපි වෘත්තීය සමිති විදියට බල්ලපොරොත්තු වෙනවා හෙට දවසේදී එකතු වෙලා කතා කරලා සෞඛ්‍ය සේවාව විතරක් වැඩ කරලා අනෙකුත් සේවාවන් වර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියන්න. මොකද අපිට තියෙන එක ම දේ තමයි මේ රටේ මිනිස්සු ගෙවල්වලට කරලා ගෙදර තියාගන්න, ඉල්ලීම් ඉල්ලීම සඳහා නෙමෙයි මේ වර්ජය ක්‍රියාත්මක කරන්නේ.

අපි තැපැල් ද දුම්රිය ද ඒ වගේ ම ගුරු ද බැංකු ද මේ සියලු වෘත්තිය සමිතිත් එක්ක කතා කරලා බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයකින් මේ ලොක්ඩවුන් එක ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වහා ම මේ පිළිබඳව පියවර ගන්න. මේ රටේ වෛද්‍ය සහ විද්‍යාත්මක ඉල්ලීමට, හඬට ඇහුන් කන් දෙන්න. එහෙම නැත්නම් මේ රට නරක තත්ත්වයට පත් වෙනවා සහ සෞඛ්‍ය සේවාව අපිට ඉස්සරහට කරගෙන යන්න ගෙන යන්න බැරි වෙනවා.”

(mawbima.lk වෙබ් අඩවිය ඇසුරිනි)