කොවිඩ් ආසාදිත දරුවන්ව නිවසේ තබාගෙන ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද?

0
Covid Positive Children - කොවිඩ් ආසාදිත දරුවන්ව නිවසේ තබාගෙන ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද?
කොවිඩ් ආසාදිත ළමුන් නිවෙස් තුළ තබා ගනිමින් ප්‍රතිකාර සිදුකිරීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් සිදුකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් වයස අවුරුදු 02කට අඩු දරුවන් හා නිධන්ගත රෝගාබාධ සහිත දරුවන්ට වෛරසය ආසාදනයවූ විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පැවසුවේය.

“කොවිඩ් රෝගය පැතිර යෑමේ හැකියාව මත නිවසේ සියලුදෙනා ට ම කොවිඩ් රෝගය වැලඳීමේ හැකියාව වැඩිවෙලා තියෙනවා. දරුවන් නිවස තුළ තබාගෙන ප්‍රතිකාර කිරීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් ඔබ ඒ් සම්බන්ධයෙන් ලියාපදංචි වෙලා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දන්වා නැතිනම් 1390 යන දුරකථන අංකයෙන් ඒ් සම්බන්ධයෙන් දැනුම් දීලා වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් දරුවන් නිවස තුළ තබා ප්‍රතිකාර කිරීම සිදුකළ හැකියි. ඒසේ නොමැතිව ඔබ විසින් තීරණය කරලා දරුවා නිවසේ රඳවා ගෙන සිටින්න එපා.”

කොවිඩ් ආසාදිත ළමුන් නිවෙස් තුළ තබා ගැනිමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙලෙස පැහැදිලි කළේය.

“මෙය වෛරස රෝගයක් නිසා විශේෂ ප්‍රතිකාරයක් ඇත්ත වශයෙන් ම නෑ. දරුවාගේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාවලියක් තුළින් මේ වෛරසය සමඟ සටන් කරලා රෝගය සමනය වීම සිදුවෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස ඖෂධ සොයා යෑම සහ ඖෂධ දරුවන් ට ලබාදීම කිසිසේත්ම සිදුනොකළ යුතුයි. මද උණ තත්ත්වයක් පවතී නම් පැරසිටිමෝල් බර අනුව නියමිත මාත්‍රාව ලබාදෙන්න පුළුවන්. දරුවා ට නිවස තුළ සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා යොමුකළ හැකියි. විශේෂ පාලනයක් අවශ්‍ය නෑ. කය වෙහෙසා සිදුකරන ක්‍රීඩාවලින් යම් බැහැරවීමක් මේ දිනවල සිදුකිරීම වැදගත්‍. ඊට අමතරව ඔවුන් ට නිසි පෝෂණයක් විශේෂයෙන් සමබල ආහාර වේලක් ලබාදීම අවශ්‍යයි‍.”

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)