ඇඳිරි නීතිය දැම්මෙ වවුලන්ට ද? බකමූණන්ට ද? – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

0
Muruththettuwe Ananda Thero Statement - ඇඳිරි නීතිය දැම්මෙ වවුලන්ට ද? බකමූණන්ට ද? – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
රට යන දිසාව පිළිබඳව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළහ.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ, දස රාජධර්මයෙන් යුක්තව රට පාලනය කරන්න යැයි, බුදු රජාණන් වහන්සේ දේශනා කළ ද වත්මන් පාලකයින් දසරාජ ධර්මය හෝ දන්නේ දැයි, තමන් විශ්වාස නොකරන බවයි.

“ලොක්කන් යැයි කියා ගන්නා කාමුක හැත්ත.
දුක් මිස අපට සැප නොයෙදෙන බව ඇත්ත.
නැත්තට තැති උනත් නොබලා ඒ පැත්ත.
එකවෙමු අපි සැවොම අපිම කරනට ඒ යුත්ත….මේ එදා කිව්වේ අද අපිට මේක කියන්න වෙලා තියෙනවා එදා කිව්ව එක. බොහොම කලකිරීමෙන් අපි ගක කරන්නේ. අදත් උදේ මට මහත්තයෙක් කතා කරලා කිව්වා, හාමුදුරුවනි මොක්කුද මේ ඔබ වහන්සේලා බලයට ගෙනාවේ, අපි ඔබ වහන්සේලාගේ කීම් වලට මේ ඔක්කොම කලේ. මොක්කුද මේ බලයට ගෙනල්ලා තියෙන්නේ හාමුදුරුවනේ. දැන්වත් මේක වෙනස් කරන්න හාමුදුරුවනේ කියලා ඉල්ලීම් දුක් ගැනවිලි එක එක්කෙනාගෙන් තියෙනවා. එ සියල්ලක්ම අද ඔබතුමන්ලා අමතක කරලා තියෙනවා නම්, තවදුරටත් අර කතාවක් තියෙනවනේ, දත් මැදලා දමන, දැහැටි දඬු මෙන් දින දින, මෙය ගෙන දනන් ගෙන, පසුව නොම නොදත් පැමිණ. ඕව් අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවනේ. ගෑස් තියෙනවද… ? අල තියෙනවද….? අපෙන් අහනවා. අද අපිටත් කියන්නවෙලා තියෙන්නේ මහින්ද මහත්තයෝ අලත් නෑ , ගෑසුත් නෑ. අපි ඒ ගෑස් පෙන්නන්නයි අපිට සිද්ද වෙලා තියෙන්නේ”

පාලකයින් සාධාරණ ලෙස ජනතා මතයට ගරු නොකර දරදඬු ස්භාවයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන්නේ නම්, ජනතාව ස්වයං පාලනයක් ඇති කර ගැනීමට සූදානම් වන්නැයි, උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

“මේ ඇඳිරි නීතිය දැන් වවුලන්ටද? මේක දාලා තියෙන්නේ බකමූණන්ටද? අපි අහන්නේ මේකයි පාලකයෝ සාධාරණ තාලයට ජනතා මතයට ගරු කරන්නේ නැතුව දරදඬු ස්භාවයෙන් රට පාලනය කරන්න හදනවානම් අපි ජනතාවට කියනවා ස්වයං පාලනයක් ඇතිකර ගමු. දැන් මන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ පුළුවන් නම් පළාත් සභා තියලා බලන්න. මහ මැතිවරණයක් තියලා බලන්න නීතී උල්ලංඝනය කරලා හරි ඡන්ද කීයක් ලැබෙනව ද කියන එක දැන් ඔබලා තේරුම් ගන්න ඕනේ. පුළුවන් නම් ඡන්දයක් තියන්න, පුළුවන් නම් ඡන්දයක් තියන්න තුනෙන් දෙක නෙවෙයි මං හිතනවා ජේ. ආර් ජයවර්ධනට මහත්තයට ආපු වැඩේ තමයි ඊළඟට වෙන්නේ මොකක්ද එක්සත් ජාතික පක්ෂය අටට බැස්සා, අටට බැස්සා මිනිස්සුන්ට කන් දුන්නේ නැහැ, මිනිස්සු කියන දේ ඇහුවේ නෑ. අපටත් වෙන්නේ ඕක තමයි ඕක දකින්න අහන්න අපි කැමති නැහැ”

අද දිනයේ සිදු වූ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අදහස් පළ කළහ.

“කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමා සෞඛ්‍ය ඇමති බවට පත් කරා කියලා අපිට දැනගන්න ලැබුණා. නමුත් අපි එතුමාට කියනවා පහුගිය දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශය නෙවෙයි සවුත්තු අමාත්‍යාංශයක් බවටයි මේක පත්වෙලා තිබුණේ. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය කළ හැකි උදව් ගොඩාක්.. අපි අමතක කරන්නේ නෑ ඒ උදව්.. කවදාකවත් එතුමිය කළා. නමුත් හිසරදේට කොට්ට මාරු කරනවා වගේ ඇමතිවරු මාරු කරලා මේ ප්‍රශනේ විසඳන්න පුළුවන් කමක් නෑ. ඔබතුමා භාර අරන් තියෙන්නේ මහා කුණු ගොඩක්. මේ කුණු ගොඩ සුද්ධ කරන්න ඔබ තුමාට හැකියාවතක් තියෙන්න ඕන. මේ කුණු ගොඩ සුද්ධ නොකර නම් ඔබ තුමාට කවදාකවත් මෙන්න මේ ගමන යන්න පුළුවන් කමක් ඇතිවෙන්නේ නැහැ කියන එකයි මගේ විශ්වාසය”

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)