හොඳට ගියොත් 14 දා රට අරිනවා – යුද හමුදාපති (දිවයින පුවත්පත වාර්තා කරයි)

0
Travel restriction - හොඳට ගියොත් 14 දා රට අරිනවා - යුද හමුදාපති (දිවයින පුවත්පත වාර්තා කරයි)

පවතින දත්ත විශ්ලේෂණය කර විශේෂඥයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් දැනට පනවා තිබෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (08 වැනිදා) සඳහන් කළේය.
 
දැනට රට තුළ පවතින තත්ත්වය අනුව නම් අනිවාර්යයෙන්ම ලබන 14 වැනිදා අලූයම 4.00 ට සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව කී යුද හමුදාපතිවරයා, කිසියම් බරපතළ තත්ත්වයක් ඇති වුවහොත් එය වෙනස්වන බව ද පෙන්වා දුන්නේය.
 
ලබන 14 වැනිදා වන විට සංචරණ සීමා පනවා දින 23ක් ගතවන බව පෙන්වා දුන් යුද හමුදාපතිවරයා මුලදී ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස රජය කි‍්‍රයාමාර්ග ගනු ලැබුවද විශේෂඥවරුන් පෙන්වා දුන් කරුණු අනුව වඩාත් සුදුසු වන්නේ සංචරණ සීමා පැනවීම බවට පෙනී ගිය නිසා මෙම තීරණය ගත් බව ද පැවසීය.
 
මේ වන විට රටේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු රජය තීන්දු තීරණ ගනු ලබන්නේ විශේෂඥ දැනුම්දීම් සහ පවතින දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඉතාම සැලසුම් සහගතව බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.
 
එසේම ලබන 10 සහ 11 දිනවලදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ‍්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යුද, ගුවන් නාවික යන ති‍්‍රවිධ හමුදාවන් සහ පොලිසිය එක්ව විශේෂ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.
 
ඒ අනුව යුද හමුදා සහ ලංගම බස් රථ යොදාගෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශ‍්‍රාම වැටුප් ලබා ගන්නා ස්ථාන වෙත රැගෙන ගොස් යළි නිවෙස් වෙත ඇරලවීම සඳහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.
 
මේ අතර රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව ඊයේ පෙරවරුව වන විට මෙරට පුද්ගලයන් 19,79,802 ට දැනට භාවිත කරන එන්නත් අතරින් කුමන එන්නතක හෝ පළමු මාත‍්‍රාව ලබාදීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.
 
එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ ඈත දුෂ්කර ප‍්‍රදේශ වෙතට රැගෙන යමින් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව නැගෙනහිර පළාතේ ජනතාවට ලබාදීම ඊයේ ආරම්භ කර තිබුණු අතර ඒ සඳහා සෞඛ්‍ය අංශවලට අවශ්‍ය පහසුකම් සැපයීමට යුද හමුදාව පියවර ගෙන තිබිණි.
 
කොරෝනා වෛරසයට එරෙහි මෙරට එන්නත්කරණ වැඩසටහනට සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන්ට එහි දෙවැනි මාත‍්‍රාව ලබා දීම ද ඊයේ ආරම්භ විය.
 
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගීව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 2214 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීහු ඊයේ පස්වරු 6.00 පමණ වන විට සඳහන් කළහ.
 
එම පිරිසත් සමඟ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පූර්ණ සුවය ලද මෙරට සමස්ත සංඛ්‍යාව 178259 දක්වා ඉහළ ගිය අතර කොරෝනා ආසාදිතව මියගිය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබූ තවත් මරණ 47 ක් පිළිබඳ තොරතුරු පෙරේදා (7 වැනිදා) රාති‍්‍ර 10.00 වන විට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිවේදනය කළේය.
 
එම මරණ 47 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1789 දක්වා ඉහළ ගිය අතර මේ සම්බන්ධයෙන් ඊයේ අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ මේ සෑම මරණයක්ම කොරෝනා හේතුවෙන්ම සිදු වූ මරණ නොවන බවය.
 
ඇතැම් අවස්ථාවල වෙනත් රෝග හේතුවෙන් මියගිය පුද්ගලයන් පිළිබඳ අවසානයේ සිදු කරන පී. සී. ආර්. පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන අතර එම මරණද කොරෝනා ආසාදිත මරණ ලෙස වාර්තාගත කරන බව කී යුද හමුදාපතිවරයා, මේ වන විට මෙරට දෛනික කොරෝනා මරණවල සාමාන්‍යය 30 ක පමණ සීමාවේ පවතින්නේ යැයිද පෙන්වා දුන්නේය.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)