ජූනි 14 වෙනිදායින් පසු සංචරණ සීමාවන්ට කුමක් ‍වෙයි ද?

1
Travel restriction - ජූනි 14 වෙනිදායින් පසු සංචරණ සීමාවන්ට කුමක් ‍වෙයි ද?
ජූනි මස 14 වන දින තෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් ව ඉදිරියේ දී රට තුළ සංචරණ සීමාවන් තවදුරටත් පවත්වන්නේ ද යන තීරණය රජය විසින් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

අද (09) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය එම අදහස් පළ කළාය.

කෙසේවෙතත් පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් හා කොවිඩ් මරණවල සියයට 28ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරිය,

“ලොක්ඩවුන් කරාට ඊට කලින් කාලයේ දී විෂබීජ ඇතුළු වී ඇත්නම් දින 14ක කාලයක් පුරා එය බෝවීමට හැකියාව තිබෙනවා. ඒ රෝගීන් තමයි දැන් වාර්තාවෙන්නේ. තාම රට වහලා සති දෙකයි. තව සතියකින් විතර අපි බලමු තව ටිකක්.“ 

මේ අතර, පවතින දත්ත විශ්ලේෂණය කර විශේෂඥයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් දැනට පනවා තිබෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (08 වැනිදා) සඳහන් කළේය.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)