දරුවන්ට කොවිඩ්-19 රෝගය බලපාන අන්දම සහ දෙමාපියන් සැලකිලිමත් විය යුතු කරුණු

1
Covid effect for children - දරුවන්ට කොවිඩ්-19 රෝගය බලපාන අන්දම සහ දෙමාපියන් සැලකිලිමත් විය යුතු කරුණු
කොවිඩ් – 19 රෝගය සම්බන්ධයෙන් දරුවන් අතර අවදානම් කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ළමා ශ්වසන රෝග විශේෂඥ චන්න ද සිල්වා මහතා පවසයි.

විශේෂයෙන් ම අවුරුද්දට වඩා අඩු දරුවන්, නිධන්ගත ආබාධ සහිත දරුවන්, දීර්ඝ කාලීන ගැටලු පවතින දරුවන්, ජානමය හෝ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින සංකූලතා හේතුවෙන් ඇති වන රෝග සහිත දරුවන් සහ විශේෂයෙන් ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව රෝග තත්ත්වයන් පවතින දරුවන්ට කොවිඩ්-19 රෝගය වැළඳුණහොත් සාමාන්‍ය දරුවන්ට වඩා සංකූලතා ඇති විය හැකි බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

වෛද්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, අද (ජූනි 23) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

නමුත් සාමාන්‍යයෙන් දරුවන්ට කොවිඩ්-19 රෝගය වැළඳුණ ද සංකූලතා ඇති වීමේ හැකියාව අවම මට්ටමක පවතින බැවින් එය ඉතා සුබදායී තත්ත්වයක් බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

එයට දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙනස්කම් මෙන් ම වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන් බාහිර පරිසරය සමග ගැටීම අවම තත්ත්වයක පැවතීම හේතු වන බව වෛද්‍යවරයා පැවසීය.

ඔහු පැවසුවේ, ඒ අනුව, වැඩිහිටියන්ට සාපේක්ෂව සලකා බලන විට දරුවන්ට කොවිඩ්-19 වැළඳීමේ ඉඩකඩ අඩු බව ය.

මෙරට කොරෝනා පළමු රැල්ලේදී කොවිඩ්-19 රෝගය වැළඳුණ වයස අවුරුදු 14ට අඩු දරුවන් සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵල මෑතකදී ප්‍රකාශයට පත් වූ බවත් එයට අනුව දරුවන්ගෙන් 55%කට කිසිදු රෝග ලක්ෂණයක් තිබී නොමැති බවත් වෛද්‍යවරයා පැවසීය.

එම දරුවන්ට රෝගය වැළඳී ඇති බව අනාවරණය වූයේ ද රෝගය වැළඳී තිබූ ඔවුන්ගේ දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියෙකුගේ ආශ්‍රිතයන් ලෙස එම දරුවන් හඳුනා ගැනීම නිසා පරීක්ෂණවලට භාජනය කිරීමෙන් බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, කොරෝනා දෙවන හා තෙවන රැල්ල සම්බන්ධයෙන් තවමත් විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රිකා නිකුත් වී නොමැති බවත් තවමත් දරුවන්ට කොරෝනාවෛරසය සම්බන්ධයෙන් වන බලපෑම අඩු අතර එය ඉතා සුබදායී තත්ත්වයක් බවත් ය.

කොවිඩ්-19 රෝගයේදී දරුවන් තුළ බහුලව ම ඇති වන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් බවත් උණ වැනි රෝග ලක්ෂණ සමහර අවස්ථාවල පෙන්නුම් කළ හැකි බවත් වෛද්‍යවරයා පැවසීය.

නමුත් බොහෝ දරුවන්ට උණ රෝග ලක්ෂණය ද පෙන්නුම් නොකරන අතර උගුරේ වේදනාව, කිවිසුම් යන තත්ත්වයක්, ශරීරයේ වේදනාවක් වැනි තත්ත්වයන් පෙන්නුම් කළ හැකි බව වෛද්‍යවරයා පැහැදිලි කළේය.

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණවලට අමතරව 10%කට පමණ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව වමනය, බඩේ කැක්කුම, පාචනය වැනි තත්ත්වයන් ඇති විය හැකි බව වෛද්‍යවරයා පැවසීය.

නමුත් කුඩා දරුවන්ගෙන් ඉතා විශාල පිරිසකට සංකූලතා ඇති නොවන බව ඔහු අවධාරණය කළේය.

මීට අමතරව වෛද්‍යවරයා පැවසුවේ, කොවිඩ්-19 රෝගය ආශ්‍රිතව වාර්තා වූ Multisystem Inflammatory Syndrome in Children (MIS-C) නම් තත්ත්වය පිළිබඳව දෙමාපියන් අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බව ය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 8ට වැඩි දරුවන්ට කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් පසුව වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව වෛද්‍යවරයා පැවසීය.

මෙරට කොවිඩ්-19 රෝගය වැළඳුණු දරුවන් සංඛ්‍යාව 1%ටත් වඩා අඩු ප්‍රතිශතයක් බවත් දරුවන් කිහිප දෙනෙකු තුළ පමණක් MIS-C රෝග තත්ත්වය පෙන්නුම් කළ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, විශේෂයෙන් ම දරුවන් මලානික ගතියක් පෙන්වයි නම්, ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් පෙන්වයි නම්, ආහාර ප්‍රතික්ෂේප කරයි නම්, නිතර නිදාගනී නම් හෝ පාචනය, වමනය වැනි තත්ත්වයන් දිනකට කිහිප වතාවක් ඇති වේ නම් ඉතා ඉක්මනින් එම දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස ය.

රෝහලට දරුවන් රැගෙන ඒමේ ප්‍රමාදය හේතුවෙන් මිය යාම් වාර්තා වන බවත් එවන් ප්‍රමාදයන් වළක්වා අසාධ්‍ය වීමට ප්‍රථම දරුවන් ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් වෛද්‍යවරයා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

විශේෂයෙන් ම කොරෝනා තත්ත්වය හේතුවෙන් රෝහල් කරා දරුවන් ගෙන යාමට දෙමාපියන් මැළි වන අතර එවන් උපකල්පන මත පිහිටා ප්‍රතිකාර පමා නොකරන ලෙස ද වෛද්‍යවරයා පැවසීය.

(මව්බිම වෙබ් අඩවිය ඇසුරිනි)